ඉකුත් 2018 වසරේදී රට තුළ ක්‍රියාත්මක වූ ක්ෂුද්‍ර,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් 263,000 ක් කොවිඩ් තත්ත්වය සහ ආර්ථික අර්බුදය යන කාරණා හේතුවෙන් වැසී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කරන ලද නවතම සමීක්ෂණයකින් තොරතුරු අනාවරණය කරගෙන ඇත.
2018 වසරේදී සක්‍රීයව පැවැති මෙම ව්‍යාපාරික ආයතනවලින් ක්ෂුද්‍ර ව්‍යාපාර 254,000 ක්ද,කුඩා පරිමාණ ව්‍යාපාර 6,900 ක්ද,මධ්‍යම පරිමාණ ව්‍යාපාර 1,800ක්ද වැසී ගොස් ඇත.
වසා දමන ලද ආයතන වලින් 197,000 ක් ස්ථිරව වසා දමා ඇති අතර, තවත් 56,600 ක් වසා දමා ඇත්තේ තාවකාලිකව බවද සමීක්ෂණයේදී තොරතුරු අනාවරණය වී තිබේ.
එම දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වසරේ (2023) මාර්තු මාසයේ සිට ජූනි මාසය දක්වා වූ කාලය තුළදී කරන ලද “ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කෙරෙහි ආර්ථික අර්බුදයේ බලපෑම තක්සේරු කිරීමේ සමීක්ෂණයේදී’’ මෙම තොරතුරු අනාවරණය කෙරිනි.
මෙම සමීක්ෂණ වාර්තාව එළි දැක්වීම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ඊයේ (13 වැනිදා) සිදු කෙරුණි.මෙම වැඩසටහන එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූජා සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
රටේ කෘෂිකාර්මික නොවන කටයුතුවලට සම්බන්ධ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 7,813ක් නියැදි ලෙස යොදාගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබේ. මෙහිදී ක්ෂුද්‍ර අංශය යටතට ත්‍රිරෝද රථ රැකියාවේ නිරත පුද්ගලයින්, කුඩා සිල්ලර වෙළෙඳසල් පවත්වාගෙන ගිය පුද්ගලයින්, කොන්ත්‍රාත් පදනම මත ඉදිකිරීම් කටයුතුවල නිරත පුද්ගලයින් ඇතුළත් කරගෙන ඇත.
මෙහිදී, ඉකුත් 2018 වසරේදී ක්‍රියාත්මක වූ එහෙත් වසර 2022 වන විටදී සක්‍රීයව ක්‍රියාත්මක නොවන මෙම ව්‍යාපාරික ස්ථාන සම්බන්ධයෙන් සමීක්ෂණයේදී අවධානය යොමුකර ඇත. ඉකුත් 2018 වසරින් පසුව ආරම්භ කරන ලද නව ව්‍යාපාරික ස්ථාන මෙම සමීක්ෂණයට යොදා නොගත් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ඉකුත් 2018 වසර අවසානය වන විටදී සක්‍රීයව පැවැති ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාව ලක්ෂ 13 කි.
සමස්ථ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ආයතනවලින් වැඩිම ප්‍රමාණයක් වසා දමා ඇත්තේ ඉකුත් 2020 වසරේදීය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 33.4 කි. 2019 වසරේදී ආයතන සියයට 9.9 ක්ද, 2021 වසරේදී ආයතන සියයට 27.4ක්ද, 2022 වසරේදී ආයතන සියයට 29.3ක්ද වසාදමා ඇත.
ඉකුත් 2018 වසරේදී මෙම ව්‍යාපාරික ආයතනවල සේවකයින් මිලියන 2.7ක් සේවයේ යෙදී සිටියද එම සංඛ්‍යාව මිලියන 2.5ක් දක්වා අඩුවී තිබේ.
ස්ථිරව වසන ලද ව්‍යාපාරවලින් 27,600 ක් පවත්වාගෙන ගොස් ඇත්තේ කාන්තාවන්ය. එමෙන්ම, තාවකාලිකව වසන ලද ව්‍යාපාරවලින් 11,700ක්ම පවත්වාගෙන ගොස් ඇත්තේ කාන්තාවන්ය.