දොඩම්ගස්ලන්ද නිවසක අභිරහස් පිපිරුමක්

දොඩම්ගස්ලන්ද පාලගම ප්‍රදේශයේ අත්හැර දමන ලද නිවසක් තුළ සිදුවූ අබිරහස් පිපිරුමක් සම්බන්ධව රජයේ රස පරීක්ෂකවරයා ඇතුළු විශේෂඥ කණ්ඩායම් එහි ගොස් ඊයේ (30 වැනිදා) උදෑසන සිට විමර්ශන අරඹා තිබිණි. මෙම අත්හැර දමන ලද නිවසේ හිමිකරුගේ අනුදැනුම මත නිවසේ නවාතැන් ගෙන සිට ඇත්තේ වයස අවුරුදු 65ක පමණ අයෙකි.

ඔහු පරණ භාණ්ඩ එකතු කර එම නිවසට ගෙනැවිත් තබා ඇති බවත්, ඒ අතරේ අවට ගල්කොරිවලින් ඉවත් කරන පුපුරන ද්‍රව්‍ය ඇතුළු කොටස්ද ගෙනවිත් ඇති බවත් මූලික විමර්ශනවලදී තොරතුරු ලැබී ඇත.

පිපිරුමෙන් නිවසේ සිටි පුද්ගලයාට හානියක් සිදුවී නොමැති අතර වහළයට පමණක් හානි සිදුවී ඇතැයි විමර්ශකයන් කියයි. පිපිරුම සිදුවූ ස්ථානයේ ගල්කොරිවල පිපිරුම් සඳහා යොදාගන්නා සේවානූල් කොටස්ද තිබී සොයාගෙන ඇත.

මෙම නිවසේ සිටි පුද්ගලයා නිවසේ බැරලයක් මත ළිපක් බැඳගෙන කෑම පිසීමට පුරුදු වී ඇති බව හෙළිවී ඇත. පිපිරුම සිදුවී ඇත්තේ එම බැරලය සමගය.

එම බැරලය අසලම පුපුරන ද්‍රව්‍ය කොටස් තබා ඇතැයි සැක පහළ වී ඇත. බැරලය මත තිබූ ගිනි පුපුරකින් ගින්නක් ඇති වී පිපිරුම සිදුවූවා යැයි සැක කළ හැකි බව විමර්ශකයන් පවසයි. මෙම සිදුවීමත් සමග නිවස හිමිකරු නිවසේ සිටි පුද්ගලයා මෙන්ම නිවස අසලට මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා පැමිණි සැකකටයුතු දෙදෙනකුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙය අහඹු සිදුවීමක්ද, අත්හදා බැලීමක්ද යන්න මෙන්ම පුපුරා ඇත්තේ කුමන පුපුරන ද්‍රව්‍යද යන්න පිළිබඳව විමර්ශන කණ්ඩායම්වල අවධානය යොමු වී ඇත.

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහමදු තයිබ් මො​හොමඩ් තාසිම් නමැති නිවසේ හිමිකරු, ​මොහොමඩ් තයිබ් සහිර් නමැති අයිතිකරුගේ සොහොයුරා හා අයියා වූ කන්නා නමැති නිවස තුළ රැඳී සිටි පුද්ගලයා වේ.

පිපිරුමෙන් උළුකැට 20ක් හා තහඩු පහක් ගැලවී විසිවී ගොස් ඇතැයි රිදීගම පොලිසිය කියයි.

සේවානූල් සමග තිබූ ඩෙටනේටරයක් පුපුරා යෑමෙන් මෙම පිපිරුම සිදුවන්නට ඇති බව පුපුරන ද්‍රව්‍ය විශ්ලේෂකයන් සැක පහළ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *