වසර තුනක් තුළ සියයට 30කින් විදුලි බිල අඩු කරන බවට වූ පොරොන්දුව ඉදිරියේදී ඉටු කරන බව ද බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය.
සමගි ජන බලවේගය මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
මහල් නිවාස හා වෙෙළඳ සංකීර්ණවලට විදුලිය ලබාදීමේදී ට්‍රාන්ස්පෝමර් අවශ්‍ය බවට තීරණය කරනුයේ ඉල්ලා තිබෙන විදුලි සැපයුමේ ධාරිතාව අනුව බවද හෙතෙම කීවේය. කිලෝ වෝල්ට් ඇම්පියර් 100 ඉක්මවන්නේ නම් පමණක් ට්‍රාන්ස්පෝමරයේ පිරිවැය අදාළ අයදුම්කරුවා විසින් දැරිය යුතු බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සම්මත කළ නීති ප්‍රකාරව ඉදිරි සැලසුම් තීරණය කරන බවත් ඇමැතිවරයා පැවසුවේය. සැපයුම් සේවා ධාරිතාව අඩු අවස්ථාවලදී එනම් ඇම්පියර් 30 හෝ 60 දක්වා හෝ කිලෝවෝල්ට් ඇම්පියර් 99 දක්වා වන සැපයුම් සඳහා ට්‍රාස්පෝමර් ඉදි කිරීම අවශ්‍ය නොවන බවත් අවශ්‍ය වුවහොත් පමණක් මණ්ඩලයේ වියදමින් ට්‍රාන්ස්පෝමරය සපයන බවත් ඇමැතිවරයා පැවසුවේය. පාරිභෝගිකයාගෙන් අය කරනුයේ මහජන උපයෝගිතා සභාව අනුමත කරන ඒවාට පමණක් වන බවත් කිලෝවෝල්ට් ඇම්පියර් 100 ඉක්මවන්නේ නම් අදාළ ට්‍රාන්ස්පෝමරයේ වියදම අයදුම්කරුවා විසින් දැරිය යුතු බවත් ඇමැතිවරයා කීය.