අයදුම්පත් 82කින් තෝරාගත් නවොත්පාදකයින්ගේ ව්‍යාපෘති 09ක් සදහා බිලියන 2.2ක් ප්‍රධානය කරයි

ලාංකේය පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක් සනිටුහන් කරමින්, ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ස්ථාපිත පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණය සඳහා වන ජාතික ප්‍රවේශය (NIRDC) මගින් තෝරාගත් සුවිශේෂී නවෝත්පාදන ව්‍යාපෘති 9ක් සඳහා රුපියල් මිලියන 227ක මූල්‍ය පහසුකම් ප්‍රදානය කිරීම අද දින සිදු විය.

මෙම වසරේ පළමු කාර්තුව තුළ ලැබුණු රුපියල් බිලියන 2.2ක් වටිනා අයදුම්පත් 82ක් අතරින්, අතිශය තරඟකාරී සහ විනිවිදභාවයකින් යුත් ක්‍රියාවලියකින් පසුව මෙම ජයග්‍රාහී ව්‍යාපෘති 9 තෝරාගෙන ඇත.

image 20 Iri News

ව්‍යාපෘතියේ අරමුණ සහ විමර්ශන ක්‍රියාවලිය

මෙම මූල්‍ය යාන්ත්‍රණය සකස් කර ඇත්තේ අවසන් අදියරේ පවතින පර්යේෂණ ව්‍යාපෘති කඩිනමින් වාණිජකරණය සඳහා යොමු කිරීමට අවශ්‍ය ‘මූල්‍යමය හිඩැස් පියවීමේ ආධාර’ (Gap-filling funding) ලබා දීම සඳහාය. මෙම ව්‍යාපෘති තෝරා ගැනීමේදී තාක්ෂණික, විද්‍යාත්මක, පරිපාලන, මූල්‍ය, වෙළෙඳපොළ, නීතිමය සහ ආර්ථික යන අංශ සියල්ල ආවරණය වන පරිදි මාස කිහිපයක් පුරා පැතිරුණු පියවර 5කින් යුත් දැඩි හා අපක්ෂපාතී විමර්ශන ක්‍රියාවලියක් අනුගමනය කර ඇත.

ශ්‍රී ලංකා ආර්ථිකයට සෘජුව බලපෑම් කළ හැකි මෙම ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 10 දක්වා සෘජු ප්‍රදානයන් (Direct Grants) ලෙසත්, රුපියල් මිලියන 10 සිට 50 දක්වා අයදුම්පත් සඳහා ආපසු අයකරගත හැකි මූල්‍ය සහාය (Recoverable financial support) ලෙසත් අරමුදල් වෙන් කර ඇත.

අරමුදල් හිමි වූ සුවිශේෂී ව්‍යාපෘති:

  1. Vx Safenet: ළමුන්ට හිතකර අන්තර්ජාලය සහ ඩිජිටල් යහපැවැත්මේ වේදිකාව – රුපියල් මිලියන 41.9
  2. ග්‍රැෆීන් සුපිරි ධාරිත්‍රක: ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා Fractal Graphene සහ සක්‍රීය කාබන් සුපිරි ධාරිත්‍රක වාණිජකරණය – රුපියල් මිලියන 18
  3. කුරුඳු නිස්සාරණය: නවීන තාක්ෂණය ඔස්සේ සීත කළ කුරුඳු නිස්සාරණය සහ අගය එකතු කළ නව කුරුඳු නිෂ්පාදන – රුපියල් මිලියන 50
  4. AI පොල්තෙල් පරීක්ෂණ උපාංගය: AI තාක්ෂණය සහ Raman spectroscopy මගින් පිරිසිදු පොල්තෙල් (Virgin Coconut Oil) තහවුරු කිරීමේ ජංගම උපාංගය – රුපියල් මිලියන 7.87
  5. තේ සහ සංචාරක කර්මාන්තය: හස්ත කර්මාන්ත තේ නිෂ්පාදනය සහ පාරිසරික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ උපායමාර්ගික ව්‍යාපෘතිය – රුපියල් මිලියන 8.45
  6. සිංහල AI පද්ධතිය: සිංහල භාෂාවෙන් ක්‍රියාකරන හඬ මගින් පාලනය වන AI චැට්බොට් (Chatbot) පද්ධතිය – රුපියල් මිලියන 7.85
  7. කිතුල් සහ පොල්කිරි නිෂ්පාදනය: කිතුල් කෝලා සහ මෝරු ඉවත් කළ පොල්කිරි නිෂ්පාදනය සඳහා කෑනිං (Canning) නිෂ්පාදන පෙළක් ස්ථාපනය – රුපියල් මිලියන 38
  8. ඇඟලුම් කර්මාන්තයේ නවෝත්පාදන: තිරසාර වර්ධනයක් සඳහා ඇඟලුම් ක්ෂේත්‍රයට ‘Flat Knit’ විසඳුම් හඳුන්වා දීම – රුපියල් මිලියන 50
  9. ගොවි ජනතාව සවිබල ගැන්වීම: “Magic-grow” පාංශු ක්ෂුද්‍රජීවී උත්තේජකය මගින් රසායනික පොහොර භාවිතය අවම කර අස්වැන්න සහ කාබන් වෙළඳාම මගින් ගොවි ආදායම වැඩිකිරීමේ ව්‍යාපෘතිය – රුපියල් මිලියන 4.99

මෙම වැඩපිළිවෙල වත්මන් රජය යටතේ මෙරට ආර්ථිකය නව මාවතකට යොමු කරන, දේශීය පර්යේෂකයන්ගේ සිහිනයක් සැබෑ වූ අවස්ථාවක් ලෙස සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *