‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව පොලීසිය විසින් පසුගිය 30 වැනිදා සිට පෙරේදා (08) දක්වා දින දහයකදී කළ මත්ද්‍රව්‍ය වැටලීම් මෙහෙයුම් 11,355කදී පුද්ගලයන් 11,248ක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 245 දෙනකුට රැඳවුම් නියෝග ලබාගෙන තිබෙන අතර, 125 දෙනෙක් පුනරුත්ථාපනයට යොමුකර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන ආකාරයට මේ කාලයේ කළ වැටලීම්වලින් හෙරොයින් කිලෝ 101යි ග්‍රෑම් 018ක් ද, අයිස් කිලෝ 263යි ග්‍රෑම් 094ක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව තමන්ට ලද තොරතුරකට අනුව මහ මුහුදේදී මෙරටට මත්කුඩු රැගෙන එමින් තිබූ ධීවර යාත්‍රාවක්, සැකකරුවන් 06 දෙනෙක් ද සමඟ අත්අඩංගුවට ගෙන පසුගිය 02 වැනිදා ගොඩබිමට රැගෙන එන ලදි. එම යාත්‍රාවේ හෙරොයින් කිලෝ 85යි ග්‍රෑම් 576ක් ද, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 251යි ග්‍රෑම් 180ක් ද තිබිණි. විමර්ශන කටයුතු සඳහා ධීවරයන් හය දෙනා සමඟ මත්කුඩු තොගය භාර කරන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයටයි. එම මත්කුඩු තොගය ද පොලීසියේ ගණනය කිරීම්වලට ඇතුළත්ය.