වසර 17 කට පෙර රුපියල් 1392 කට ලබාගත් බව කියන රියැදුරු බලපත් කාඩ්පතක් 2026 වසරේදී රුපියල් 219 ක් වැනි මිලකට ලබාගැනීමට හැකිවී ඇතැයි මෝටර් රථ කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
2009 වර්ෂයේදී රියැදුරු බලපත්‍ර කාඩ්පතක් රුපියල් 1392 කට ගෙන කැබිනට් අනුමැතිය ඇතිව කාලයක් තිස්සේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව මිලදී ගෙන ඇතැයි ද එම නිලධාරියා කීය. 2025 වර්ෂයේදී එම කාඩ්පතක් රුපියල් 263 බැගින් කාඩ්පත් ලක්‍ෂ 08 ක්ද, 2026 වර්ෂයේදී එම කාඩ්පතක් රුපියල් 219 බැගින් කාඩ්පත් ලක්‍ෂ 10ක් ද ලබාගැනීමට ටෙන්ඩර් මගින් හැකිවී ඇතැයි හෙතෙම කියා සිටියේය.
කාඩ්පත් නොමැති නිසා ගොඩගැසී තිබූ රියැදුරු බලපත්‍ර ලක්‍ෂ 05 ක් පමණ මේ වනවිට මුද්‍රණය කර බෙදාහැරීමට කටයුතු කරමින් සිටින බවද එම නිලධාරියා පැවසීය. මේ වනවිට මුද්‍රණය කර හිමිකරුවන් රැගෙන නොගිය පැරණි අංක තහඩු ලක්‍ෂ දෙකහමාරක් පමණ ප්‍රධාන කාර්යාලයේ සහ උප කාර්යාලවල ගොඩගැසී තිබෙන බවත් ඒ මහතා කීය.
නව වාහන සඳහා අංක තහඩු මුද්‍රණය කිරීමට අදාළ ටෙන්ඩරය නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙන බවත්, ඊට අනුමැතිය ලැබුණු වහාම අංක තහඩු මුද්‍රණය කර මැයි මස මුල ලබාදීමට අදහස් කරගෙන සිටින බවත් එම නිලධාරියා පැවසීය. අංක තහඩු මුද්‍රණයට අවශ්‍ය මූලික වැඩකටයුතු වේරහැර ශාඛාව මගින් මේ වනවිට ආරම්භ කර ඇති බවත් හෙතෙම පැවසීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ලබාදෙන සේවාවන් වෙනුවෙන් වර්ෂයකට සියයට 15 ක මිල සංශෝධනයක් සිදුකිරීමට බලය පවතින බව පැවසූ එම නිලධාරියා රියැදුරු බලපත්‍ර ගාස්තු මිල සංශෝධනය (වැඩි නොකර) අනෙකුත් සේවාවන්වල මිල වැඩිවීමක් සිදුවිය හැකි බවද වැඩිදුරටත් කියා සිටියේය.