රජයේ රෝහල් 15ක බෝවන අපද්‍රව්‍ය පුළුස්සන යන්ත්‍ර ස්ථාපිත කරයි

ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් 15ක නවීන තාක්ෂණයෙන් යුත් බෝවන අපද්‍රව්‍ය පුළුස්සන යන්ත්‍ර (incinerators) ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මෙම යන්ත්‍ර ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) අරමුදල් යටතේ ක්‍රියාත්මක වන “බෝවන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” යටතේ රෝහල්වල සවි කර ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.

ජපන් රජයේ සහ එරට ජනතාවගේ යෙන් මිලියන 503ක මූල්‍ය පරිත්‍යාගයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට අමතරව, රත්නපුර සහ කුරුණෑගල ශික්ෂණ රෝහල්වල, එම්බිලිපිටිය, අවිස්සාවේල්ල, හම්බන්තොට, මන්නාරම, සහ කිලිනොච්චි දිස්ත්‍රික් රෝහල්වල, රිකිල්ලගස්කඩ, මහියංගණය, පුත්තලම, මීරිගම, මැදිරිගිරිය සහ වැලිකන්ද මූලික රෝහල්වල සහ නකුලගමුව කොට්ඨාස රෝහලේ ද මෙම ඒකක සවි කර තිබෙනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ස්ථාපිත කර ඇති පුළුස්සන යන්ත්‍රයට පැයකට බෝවන අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 162ක් දක්වා දහනය කිරීමේ හැකියාව ඇති අතර, මෙම ව්‍යාපෘතියට එවැනි අධි ධාරිතා යන්ත්‍ර පහක් සහ පැයකට කිලෝග්‍රෑම් 58ක් දහනය කළ හැකි අමතර ඒකක දහයක් ඇතුළත්. එක් එක් රෝහලේ අවශ්‍යතාවලට අනුකූලව මෙම යන්ත්‍ර ස්ථාපනය කර තිබීම විශේෂත්වයක්.

මේ අතර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ස්ථාපිත නවීනතම බෝවන අපද්‍රව්‍ය පුළුස්සන යන්ත්‍රය හෙට (සිකුරාදා) මහජනතාවට භාරදීමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසිරි, නියෝජ්‍ය විදේශ අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ මෙරට ජපන් තානාපති අකියෝ ඉසොමාටා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන 10.00ට මෙම උත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *