ලබන වසරේ (2024) ජනවාරි මස පළමුවැනිදා සිට වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාම ‘බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය’ (tax payer identification number TIN) ලබාගත යුතු බවත් එම අංකය ඔස්සේ බදු ගිණුම් විවෘත කළයුතු අය හඳුනාගැනීමට කටයුතු කෙරෙන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ.එම්. නෆීර් පැවැසීය.
යම් පුද්ගලයකුගේ වයස අවුරුදු 18 වුවත් ඔහුට බදු ගෙවීමට තරම් ආදායමක් තිබේ නම් අනිවාර්යෙන්ම බදු ගොනුවක් විවෘත කෙරෙන බවද ඔහු කීවේය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ප්‍රධානතම වැඩපිළිවෙළක් ලෙස මෙය හැඳින්වීමට හැකි බවද කොමසාරිස්වරයා පැවැසීය.
ඉකුත් වසරේ දී (2022) 73,444ක්ව පැවැති ලියාපදිංචි බදු ගෙවන සමාගම් සංඛ්‍යාව මේ වසරේ නොවැම්බර් මස 30 වැනිදා වන විට 81,909ක් දක්වා 10%කින් වැඩි වී තිබේ.
මේ අතර 2022 වසරේදී 204,467ක්ව පැවැති පුද්ගලික ආදායම් බදු ලිපිගොනු සංඛ්‍යාවද මේ වසරේ නොවැම්බර් මස 30 වැනිදා වනවිටදී 500,196ක් දක්වා වැඩි වී ඇති අතර 13,769ක්ව පැවැති බදු ගෙවන හවුල් ව්‍යාපාර සංඛ්‍යාවද 15,579ක් දක්වා වැඩි වී ඇතැයිද දේශීය ආදායම් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් 2019 වසරේදී රුපියල් බිලියන 1025ක්ව පැවැති වාර්ෂික ආදායම ඊළඟ වසරේදී රුපියල් බිලියන 500ක් දක්වා අඩුවුවත් අද වන විට එම ආදායම රුපියල් බිලියන 1500ක් දක්වා ඉහළට ගෙන ඒමට හැකි වූ බවද පසුගියදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කොමසාරිස්වරයා පැවැසීය.