18% වැට් බද්ද වදින භාණ්ඩ ලැයිස්තුව එළියට

භාණ්ඩ අයිතම 100ක් සඳහා එකතු කළ අගය මත පැනවෙන බදු හෙවත් වැට් අලුතින් එක්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු ආචාර්ය මන්ත්‍රී හර්ෂ ද සිල්වා හෙළිදරව් කළා.

හිරු සලකුණ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ සවිස්තර ඇමුණුමක් අයවැය ලේඛනයට ඇතුළත් නොවීම ගැටලු සහගත බවයි.

15%ක් ලෙස දැනට පවතින එකතු කළ අගය මත බද්ද හෙවත් VAT ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට 18%ක් දක්වා ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ, පසුගිය ඔක්තෝබර් 31 වැනිදායි.

මෙතෙක් වැට් අය නොකෙරෙන භාණ්ඩ අයිතම කිහිපයක් සඳහා ද බදු අයකිරීමට තීරණයකර ඇති බව එදින නිවේදනය කෙරුණා.

මේ අතර, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා හිරු සලකුණ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් පැවසුවේ,
ඒ අනුව පෙට්‍රල්, ඩීසල්, ගෑස්, සියලුම යන්ත්‍රෝපකරණ, දුරකතන, පරිගනක, වෛද්‍ය උපකරණ, පොත්, සඟරා, රූපවාහිනී යනාදී අයිතම 100ක් සඳහා වැට් අලුතින් එක් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි.

ඉන් ඇතැම් අයිතම සඳහා 15% දක්වා සහ ඇතැම් අයිතම සඳහා 18% දක්වා වැට් පැනවෙනු ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

මේ අතර, පසුගිය වසරේ පළමු මාස 09ට සාපේක්ෂව මේ වසරේ එම කාලසීමාව තුළ එකතු කළ අගය මත බදු හෙවත් වැට් වෙතින් රජය ලද ආදායම රුපියල් බිලියන 505.0 දක්වා 62.6%කින් සැලකිය යුතු ලෙස වැඩි වී ඇතැයි මුදල් අමාත්‍යාංශය සැකසූ 2024 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ දැක්වෙනවා.

එය මේ වසර සඳහා ඇස්තමේන්තුගත වැට් ආදායමෙන් 55.6%ක්.

දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වලින් ලද වැට් ආදායම පසුගිය වසරේ පළමු මාස 09 තුළ ඉපැයූ රුපියල් බිලියන 193.8 ට සාපේක්ෂව මේ වසරේ රුපියල් බිලියන 351.6ක් දක්වා 81.4%කින් වර්ධනය වී තිබෙනවා.

ආනයන මගින් ලද වැට් ආදායම අදාළ කාලසීමාව තුළ පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 153.4 දක්වා 31.5%කින් වර්ධනය වී ඇතැයි එම වාර්තාවේ සඳහන්.

එසේම ලබන මස සිට බලපැවැත්වෙන පරිදි එකතු කළ අගය මත බදු නිදහස් කිරීම් ලබා දී ඇති අයිතම ගණනාවක් ඉවත් කිරීම මගින් වැට් ආදායම ශක්තිමත් කිරීමටත්, වැට් කාර්යක්ෂමතාව වැඩි කිරීමටත් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ද එම වාර්තාවේ සඳහන්.

කෙසේවෙතත්, ජනාධිපති කාර්යාලයේ දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, වැට් නිදහස්කිරීම් ලබා දී තිබී ඉවත් කෙරෙන අයිතම ලැයිස්තුව ඉදිරිපත් කළ හැක්කේ, පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණු පසු බවයි.

මේ අතර, ලබන දෙසැම්බර් 31 වැනිදා වනවිට රුපියල් ට්‍රිලියන 03ක රාජ්‍ය ආදායමක් අපේක්ෂා කරන බව ජනාධිපති කාර්යාලයේ ආර්ථික ස්ථායීකරණ ඒකකය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *