පන්දම් යුගයකට පාර කපන අපේ විදුලි බිල්
පසුගිය කාලයේ මෙරට ජනතාවගේ හිස මත හෙණ ගෙඩි පහත් වූයේ එකක් පිටුපස එකක් එන පරිද්දෙනි. මේ අර්බුදය පටන් ගත්තේ කොරෝනා ව්‍යසනයෙනි. එයින් පසු ආණ්ඩුව විසින් දිගින් දිගටම පනවන ලද බදු මෙන්ම ඉන්ධන මිල වැඩිකිරීමත් සමග අර්බුදය ඔඩු දිව්වේය. ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කළේත් රුපියල් පහකින් දහයකින් නොව එකවර සිය ගණනකිනි. ඒත් සමගම ගෑස් මිලද ඉහළ ගියේය. ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා හා සමාන ක්‍රියාවකට ජනතාවට මුහුණ දෙන්නට සිදුවූයේ ජල බිල මෙන්ම විදුලිබිලත් ඉහළ යෑමත් සමඟය. එක් පැත්තකින් ශීඝ්‍රයෙන් ජනතාවගේ වැයබර ඉහළ ගියත් ආදායමේ වර්ධනයක් නම් සිදුවූයේ නැත. ඒ නිසා ජනතාව සිටියේ සහ තවමත් සිටින්නේ අන්ත අසරණ තත්ත්වයකය.
රුපියල් දහස් ගණන්වලින් එකවර වැඩිවන ගෑස් සිලින්ඩරය යළි අඩු වන්නේ රුපියල් 50ක් 60ක් ආදී ලෙස ඉතා සුළු වශයෙනි. ඉන්ධන මිල ගත්තත් එසේමය. විදුලි බිල ගැන සලකා බැලුවත් කියන්නට ඇත්තේත් මේ ටිකමය. වැඩි වෙනකොට සියයට පන්සීය හයසීය ඉක්මවූ ප්‍රතිශතවලින් විදුලිබිල වැඩි වුවත් අඩු වන විට අඩු වන්නේ සියයට විස්සටත් අඩු ප්‍රතිශතයකිනි. විදුලි බිල තවමත් පවතින්නේ ජනතාවට කිසිසේත් දරාගත නොහැකි මට්ටමකය. වෙනදා රුපියල් සීයක් එකසිය පනහක විදුලි බිලක් ලැබුණු ජනතාවට දැන් රුපියල් දාහක එක්දහස් පන්සීයක විදුලි බිලක් පැමිණි විට ඇතිවන පීඩාව පිළිබඳ අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. සමහර දුප්පත් සහ වැඩිහිටි අසරණ පුද්ගලයන්ට රජයෙන් ලැබෙන වැඩිහිටි දීමනාව හෝ වෙනත් දීමනාවක් වැය කරන්නට සිදුවන්නේ විදුලි බිල ගෙවීම සඳහාය.
මේ දිනවල යළිත් වරක් ඡන්දයක් ළඟ එන නිසාදෝ විදුලි බිලේ පහත දැමීමක් පිළිබඳ විටින් විට සාකච්ඡා මතු වුවත් ඒවා විදුලි බිල වැඩි වෙනවා වගේ දවසෙන් දෙකෙන් ක්ෂණිකව සිදුවන්නේ නැත. ඒ සඳහා කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තවත් ටිකක් අවැසිය. මිල වැඩි කළ යුතු වූවා නම් කිසිම නීතියක් තඹ දොයිතුවකටවත් මායිම් නොකරන ආණ්ඩුව මිල අඩු කරන්නට දහසක් කොන්දේසි පනවයි. ඒ කෙසේ වෙතත් අද අපේ මාතෘකාව වන්නේ පසුගිය කාලයේ විදුලි බල මණ්ඩලය ජනතාවට සලකපු සැලකිල්ල ගැන කියන්නටය.
ලක්ෂ දහයක් අඳුරේ
ආණ්ඩුව නිරන්තරව පවසන්නේ තමන් විසින් රට සහ ජනතාව වැටී සිටි වළෙන් ගොඩගත් බවයි. නමුත් රට තොට තොරතුරු විමසා බැලීමේදී පෙනී යන්නේ ජනතාව ගොඩගත්තා වෙනුවට සිදුව ඇත්තේ සිටිය තැනිනුත් පහළට වැටීම බවයි. රටක සංවර්ධනය පිළිබඳ මනින මිනුම්දඬු කිහිපයක්ම පවතී. ඒ අතරින් එක් මිනුම් දණ්ඩක් වන්නේ එම රටේ කොපමණ පිරිසකට විදුලි බලය වැනි යටිතල පහසුකම් පවතිනවාද යන්නයි. නමුත් මේ වනවිට විදුලි පාරිභෝගිකයන් ලක්ෂ දහයකට අධික පිරිසකගේ විදුලි සම්බන්ධතා විසන්ධි කොට ඇත. ලක්ෂ දහයකගේ විදුලි සම්බන්ධතා කපා දමනවා යනු රට ගොඩ ගැනීමක්ද. යටිතල පහසුකම් සංවර්ධනය කිරීමක්ද යන්න යළි නිර්වචනය කොට බැලිය යුතුය.
මෙලෙස විදුලිය විසන්ධි කළ ලක්ෂ දහය තුළ කොපමණ සංඛ්‍යාවකගේ පාසල් යන දුවා දරුවන් සිටින්නට ඇතිද. කොපමණ පිරිසකගේ වයෝවෘද්ධ මවුපියන් සිටින්නට ඇතිද. කොපමණ පිරිසක් සෘජුවම විදුලිය හා සම්බන්ධ ස්වයං රැකියාවකින් තම ජීවිකාව ගෙන යන්නට ඇතිද. කොපමණ පිරිසක් ඒකක තිහකටත් අඩුවෙන් විදුලිය භාවිත කොට එම මුදලවත් ගෙවා ගත නොහැකිව විදුලිය විසන්ධි කළාදැයි කියා එක නායකයෙක් හෝ සොයා බැලුවාදැයි සැකසහිතය. විදුලිය විසන්ධි කළ සියලු පාරිභෝගිකයන් ලක්ෂ ගණන් වලින් විදුලිය බිල් එන පුද්ගලයන් නොවේ. එසේම විවිධ වංචනික ක්‍රියා සිදු කරන පුද්ගලයන්ද නොවේ. බොහෝම දුක් මහන්සියෙන් එදා වෙලා හරි හම්බ කරගෙන ජීවිකාව ගෙන යන පුද්ගලයන් ය.
ජනතාවට දැන් විකල්ප දෙකක් ඇත. එකක් කෙසේ හෝ අමාරුවෙන් විදුලි බිල ගෙවා බඩගින්නේ සිටීමය. අනෙක මේ වනවිට තුන් වේලෙන් දෙවේලක් කන ජනතාවට තව වේලක් අතහැර හෝ වතුර ටිකකින් බඩ පුරවාගෙන කරුවලේ සිටීමය. ජනතාවට දැන් මේ දෙකෙන් එකක් තෝරාගැනීමට සිදුව ඇත. ජනතාව මේ දෙකෙන් කොයික කළත් කරන්නේ බොහෝම අරපරිස්සමෙනි. වෙනදා මුළු නිවසම ආලෝකවත් කරන විදුලි බුබුළු දැන් නිවෙස් වල දැල්වෙන්නේ නැත. මුළු නිවසටම එකවර දැල්වෙන්නේ විදුලි බුබුලක් හෝ දෙකක් පමණි. රටේ බොහෝ නිවෙස්වල තත්ත්වය එසේය. එමෙන්ම ජනතාව දැන් කෑම කන්නෙත් ඒ ආකාරයෙනි. දැන් බොහෝ නිවෙස්වල බත් පිඟන්වල මස්, මාළු, බිත්තර දකින්නට නැත. තිබුණොත් තිබෙන්නේ හාල්මැස්සෙක් පමණි. ඒකත් අපේ දේශීය හාල්මැස්සන් නොව පිට රටින් ආනයනය කරන ලද තොග වෙළෙන්නන් විසින් දහස් ගණන් ලාභ තබාගෙන විකුණන හාල්මැස්සන්ය. දැන් ජනතාව අන්තිම අඩියට වැටී අවසන්ය. තවත් වැටෙන්නට තැනක් නැත.
ලක්ෂ දෙකක් විදුලිය අතහරිති
පසුගිය කාලයේ විදුලිය විසන්ධි කරන ලද විදුලි පාරිභෝගිකයන්ගෙන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් යළිත් වරක් විදුලි සම්බන්ධතාව ලබාගෙන නොමැත. ඒ විදුලි සම්බන්ධතාව ලබා ගැනීම සඳහා මුදල් නොමැතිකම හේතුවෙනි. විදුලි සම්බන්ධතාව බිඳ හෙළා දින 90ක් ඇතුළත සියලු මුදල් ගෙවා විදුලි සම්බන්ධතාව ලබා නොගන්නා පුද්ගලයන්ගේ විදුලි සම්බන්ධතා ගලවා ඉවත් කරනු ලැබේ. පසුගිය කාලයේ ඒ ආකාරයෙන් එක් ලක්ෂ විසි දහසකට අධික පිරිසකගේ විදුලි සම්බන්ධතා විදුලි බල මණ්ඩලය විසින් ගලවා ඉවත් කර තිබේ.
විදුලිය අද වන විට අත්‍යවශ්‍ය දෙයක් බවට පත්ව හමාරය. මේ වන විට විදුලිය නොමැති නිවසක් නැති තරම්ය. ඒ තරම් අත්‍යවශ්‍ය දෙයක් ජනතාව අතහරින්නේ වෙන කරන්නටම දෙයක් නැති තැනය. රුපියල් 1000ක් 1500ක් පමණ වූ විදුලි බිලක්වත් ගෙවා ගන්නට නොහැකි ජනතාව එකවර හිඟ මුදල් සහ දඩ මුදල් ගෙවා යළි කෙසේ නම් විදුලි සම්බන්ධතාව ලබා ගන්නද.
අවුරුදු දෙකට කෝටි තුනකට රතු බිල්
නිසි වෙලාවට විදුලි බිල් නොගෙවීම හේතුවෙන් 2022 වසර සිට 2024 වසර දක්වා දෙවසරක කාලය තුළ පමණක් කෝටි තුනකට ආසන්න පිරිසකට රතු බිල් නිකුත් කොට ඇතැයි දැනගන්නට ලැබේ. වෙනදා මාස තුන හතරක හිඟ බිලක් තිබුණත් නැති රතු බිල දැන් යාන්තම් මාසයක් එකහමාරක් යන විටම ජනතාව අතට පත්වන්නේ ආණ්ඩුව සහ විදුලිබල මණ්ඩලය ඒ තරම්ම කාර්යක්ෂමව ජනතා සේවය කරන බැවිනි.
ජනතා මුදලින් සේවක ණයත් ගෙවලා
පාරිභෝගික ජනතාවට ඒ ආකාරයෙන් කාර්යක්ෂමව ක්‍රියාකරන විදුලිබල මණ්ඩලය තම සේවකයන් සඳහා ද දක්වා ඇත්තේ සුවිශේෂී ප්‍රමුඛතාවකි. සහනදායී නිවාස ණය ක්‍රමය යටතේ ලංකා විදුලබල මණ්ඩලයේ සේවකයන් විවිධ බැංකුවලින් ලබාගත් ණය සඳහා ගෙවන ලද පොලියෙන් තුනෙන් දෙකක්ම විදුලි බල මණ්ඩලය මගින් ගෙවා ඇතැයි අනාවරණය වේ. මේ බව අනාවරණය වූයේ විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය. 2013 වසරේ සිට 2023 වසර දක්වා ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 1680කි.
පුදුමයට කරුණ වන්නේ මෙතරම් මුදල් කන්දරාවක් වැය කර ඇත්තේ කැබිනට් මණ්ඩලයේ හෝ මුදල් අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව වීමයි. විදුලිබල මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයක් අනුව මේ මුදල් කන්දරාවේ වැය කර ඇතැයි අනාවරණය වේ. ජනතාව ඉතා අපහසුවෙන් ගෙවන මුදල් මේ ආකාරයෙන් හිතුමනාපයේ වැය කළ හැකිද යන ගැටලුව පැන නැගී.
විදුලිබල මණ්ඩලයේ අක්‍රමිකතාවන් සහ අකාර්යක්ෂමතාවන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ වරක් දෙවරක් නොවේ. වැඩි මිලට විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙන්ම ටෙන්ඩර් ක්‍රියාවලදී විටින් විට ඇති වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් අවස්ථා රැසකදී චෝදනා එල්ල විය. ඇඹිලිපිටිය ඒස් පවර් විදුලි බලාගාරයේ පවරා ගැනීම සම්බන්ධයෙන් මෙන්ම විදුලිබල මණ්ඩලය සතුව සේවකයන් දහස් ගණනක් සිටියදී බොහෝ සේවාවන් දේශපාලකන්ගේ හෙන්චයියන්ට හෝ විදුලිබල මණ්ඩලයට සම්බන්ධ පිරිස් විසින් කොන්ත්‍රාත් ලබාගෙන අති විශාල ලාභයක් ලැබීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී තිබේ.
මෑතකදීම විදුලිබල මණ්ඩලයට එකතු වූ බලාගාරය වන්නේ උමාඔය ජල විදුලි බලාගාරයයි. ඉදිරියේදී අලුත් අලුත් සුළං විදුලි බලාගාර විදුලිබල මණ්ඩලය සමග සම්බන්ධ වීමට නියමිතය. නමුත් ගැටලුව වන්නේ මොන තරම් බලාගාර එකතුවුණත් මේ කිසිවකින් ජනතාවගේ විදුලි බිලට දැනෙන බර සැහැල්ලු නොවීමය.
විදුලි බල මණ්ඩලය ස්ථාපිත කර ඇත්තේ ලාභ ලබන ආයතනයක් ලෙස නොව ජනතාවට සේවයක් සලසන ආයතනයක් ලෙසිනි. ජනතාවට සේවය සලසන ආයතනයක් කිසිසේත්ම ජනතාවට බරක් නොවිය යුතුය. නමුත් දැන් දැන් සිදුවන ක්‍රියාවන් සහ වර්තමානයේ වාර්තාවන තොරතුරුවලට අනුව ඉදිරියේදී විදුලිබල මණ්ඩලය ජනතාවට විශාල බරක් වන ආකාරයක් දකින්නට ලැබේ. ඒ විදුලිබල මණ්ඩලය කොටස්වලට කඩා පාලනය කිරීමට සූදානම් වීමත් සමඟ බලශක්තිය සේවාවකින් එහාට ගොස් ලාභ ලබන ආයතනයක තත්ත්වයට පත්වීමත් හේතුවෙනි.
විදුලිබල මණ්ඩලය කලක් පාඩු ලැබූ බව සත්‍යයකි. නමුත් අදවනවිට විදුලිබල මණ්ඩලය ලාභ පිට ලාභ ලබන තත්ත්වයට පත්ව ඇත. මේ දිනවල බොහෝ ජල විදුලි බලාගාර පිරී ඉතිරී යන තත්ත්වයක පවතී. ජල විදුලියෙන් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට වැයවන්නේ රුපියල් 1.50 තරම් සුළු මුදලකි. නමුත් විදුලිබල මණ්ඩලය ජනතාවට ලබාදෙන අඩුම විදුලි ඒකකයත් රුපියල් 8-10 වේ. එතනින් එහාට ඒකකයක් රුපියල් 40-50 දක්වා මිල ගණන්වලට විදුලි ඒකකයක් අලෙවි කරන විදුලිබල මණ්ඩලය මේ දිනවල මොනතරම් ලාභයක් ලබනවාද.
මේ වන විට විදුලි බිල ජනතාවට කුමන ආකාරයෙන් බලපාන්නේ දැයි විමසා බැලීමට අප අමතක නොකළේ විදුලි බිලෙන් බැටකන්නේ සාමාන්‍ය ජනතාව වන බැවිනි. මුලින්ම අප හා අදහස් දක්වන්නට එක් වූයේ හේමලතා ජයසූරිය මහත්මියයි.
“අපේ ගෙදර ඉන්නේ මමයි මහත්තයයි විතරයි. අපි දෙන්නටම දැන් රස්සාවල් කරන්න පුළුවන් වයසක නෙමෙයි ඉන්නේ. ළමයි කවුරුවත් ඇත්තෙත් නැහැ. රජයෙන් දෙන වැඩිහිටි දීමනාව ඇරුනම කාගෙහරි ගෙදරක පොඩි වැඩක් කරල දීල කීයක් හරි දුන්නොත් තමයි. දැන් ජීවිතේ අරන් යන්නේ බොහෝම අමාරුවෙන්. ඉස්සර නම් අපට ලයිට් බිල ආවෙ රුපියල් දෙතුන් සීයයි. ඒක ගෙවා ගන්න එක අමාරුවක් නැහැ. දැන් ලයිට් බිල මාසෙකට රුපියල් දාහක් එක්දහස් පන්සීයක් එනවා. හරි හමන් රස්සාවකුත් නැති, වෙන ආදායම් මාර්ගයකුත් නැති අපි දෙන්නා කොහොමද මාසෙකට එච්චර ගාණක් ගෙවන්නේ. දැන් අපට ලයිට් බිල ලොකු හිසරදයක් වෙලා තියෙන්නේ. එක පාරක් ලයිට් කපලත් ගියා. අහල පහල කට්ටිය උදව් කරල තමයි කරන්ට් එක ආපහු ගත්තේ. දැන් ඉන්න නායකයො පොඩි මිනිහා ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. අජන්ත ගුණසේකර මහතා කුඩා පරිමාණයෙන් ඇඟලුම් ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයෙකි. මේ වන විට ඔහු සිය ව්‍යාපාරය නවතා දමන තත්ත්වයට පත්ව තිබේ. ඒ සඳහා හේතු වී ඇත්තේ මේ වනවිට පවතින අධික පිරිවැයයි. මේ ඔහු සිය ව්‍යාපාරය පිළිබඳ දැක්වූ අදහසයි.
“මම කළේ ගාමන්ට් ෆැක්ටිවලින් කැපෙන රෙදි කෑලි ගෙනත් කලිසම් පොඩි මහන එක වගේම බෑග් මහන එක. මේක හොඳ ලාභ තියෙන බිස්නස් එකක්. මුලින් මේක පටන් ගත්තේ මමයි මගේ නෝනයි විතරයි. පස්සෙ අපි තව මැෂින් අරගෙන සේවකයන් දහයක් පහළොවකට විතර රස්සාව දුන්නා. ඒත් මේ ආණ්ඩුව කිසි හිතක් පපුවක් නැති විදිහට ලයිට් බිල වැඩි කරත් එක්ක මේක කරගෙන යන්න බැරිම තත්ත්වයක් තමයි උදාවුණේ. දැන් අපි ළඟ වැඩ කර කරන්නෙ තුන්දෙනයි. ඉතුරු සේවකයෝ ඔක්කොටම රස්සාව නැති වුණා. කලින් රුපියල් හය හත් දාහක් ආපු ලයිට් බිල දැන් රුපියල් තිස් හතළිස් දාහක් වෙලා. ඉතින් කොහොමද මහත්තයෝ අපි ලයිට් බිල් ගෙවන්නේ. බොරුවට රටට ණයකාරයෝ වෙනවට වැඩිය හොඳයි මේක මෙහෙම්මම නවත්තලා දාන එක. දැනට අපේ ළඟ සේවය කරන්නේ සේවකයෝ තුන්දෙනෙක් විතරයි. මීළඟට අප හා සම්බන්ධ වූයේ ශ්‍රියානි රත්නසේකර මහත්මියයි. ඇය ගෘහණියකි. ඇය හා කළ කතාබහේදී දැනගන්නට ලැබුණේ ඔවුන්ගේ පවුලේ ශක්තිය වී ඇත්තේ ස්වාමියාගේ වේතනය පමණක් බවයි. ඇගේ පවුලට විදුලිබිල කුමන ආකාරයෙන් බලපෑමක් එල්ල කර ඇත්දැයි අප හා පැවසුවේ මෙලෙසිනි.
අපේ ගෙදර ඉන්නෙ මමයි මහත්තයයි ළමයි දෙන්නයි. මහත්තය බස්රථ රියැදුරෙක් විදිහට වැඩ කරනවා. ලොකු ළමයා මේ පාර සාමාන්‍ය පෙළ විභාගය ලිව්වා. පොඩි ළමයා 8 වසරේ.
අපි විදුලිය පාවිච්චි කරන්නේ බොහෝම අර පරිස්සමෙන්. බත් හොදි සේරම හදන්නේ දැන් දර ළිපේ… ඉස්සර නම් රයිස් කුකර් එක ගැහුව. දැන් ඒ ඔක්කොම අයින් කරලා. ඒත් තවමත් මාසෙකට රුපියල් තුන් හාරදාහක බිලක් එනවා. රෑ වෙනකන් ළමයි ලයිට් දාගෙන පාඩම් කරනවා. ඊට අමතරව ලොකුවට ලයිට් පාවිච්චි කරන්නෙත් නැහැ. දැන් දෙපාරක් රතු බිල ඇවිත් යාන්තම් දස අතේ ණය වෙලා බිල ගෙවලා සම්බන්ධතාව ලබාගත්තා.
අද වනවිට ලංකාවේ බොහෝ ගෙවල්වල තත්ත්වය ඔය ආකාරය. හැම කෙනෙක්ම එදාවේල ගැටගහගන්නේ බොහෝම අමාරුවෙනි. එවන් තත්ත්වයක් තුළ විදුලි බිලත් ජනතාවට මහා බරක් වෙන තැනට පත්වී අවසානය. මේ මාසයේ විදුලි බිල ගෙව්වොත් ඊළඟ මාසයේ ගෙවන්නේ කෙසේදැයි කල්පනා කරන තත්ත්වයට පත්ව තිබේ. ඉදිරියේදී අඩු කිරීමට නියමිත විදුලි බිල ඒකාන්තයෙන්ම ඡන්ද ගුණ්ඩුවක් නොවිය යුතුය. නැතිනම් සිදුවන්නේ විදුලිය වෙනුවට ජනතාවට පන්දම අතට ගැනීමට සිදුවීමයි. ඒකත් කළ නොහැක්කේ භූමිතෙල් මිලද ඉහළ බැවිනි.
Source සමීර කන්නන්ගර -( Divaina)