රු. 2000ට තමන්ගේම රූපය සහිත මුද්දර පත්‍රිකාවක් ගන්න අවස්ථාව දෙයි

රුපියල් 2,000ක් වැනි මුදලකට තම ඡායාරූපය සහිතව මුද්දරයක් මුද්‍රණය කර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව එම මුදලට තම ඡායාරූපය සහිත මුද්දර 20කින් සමන්විත පත්‍රිකාවක් ලබාදෙන බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා ප්‍රකාශ කරයි.

මෙරට පැරණිතම පුද්ගලික වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ 135 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් මුල්දින කවරයක් සහ මුද්දරයක් එළිදැක්වීමේ අවස්ථාවට ඊයේ (06) පෙරවරුවේ එක්වෙමින් තැපැල්පතිවරයා මේ බව සඳහන් කළේය. කොළඹ පිහිටි හැටන් නැෂනල් බැංකු මූලස්ථාන පරිශ්‍රයේදී මෙම උත්සවය පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තැපැල්පති රුවන් සත්කුමාර මහතා පෙන්වා දුන්නේ, “තමන්ගේ පිංතූරය දාලා මුද්දරයක් මුද්‍රණය කර ගන්න දැන් පුළුවන්. දැන් අපි අය කරන්නේ රුපියල් 2,000යි. මුද්දර 20ක පත්‍රයක් දෙනවා. තමන්ගේ උපන් දිනයට, තමන්ගේ යාළුවාගේ උපන් දිනයට, තමන්ගේ දුවගේ හෝ පුතාගේ විවාහ ඇරයුම්පත යවන්න ඒ දෙන්නාගේ පිංතූරය තිබෙන මුද්දරයක් ඇතිව යවන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් තැපැල් මුද්දරයක් විදියට භාවිත කරන්න පුළුවන්” යැයි සඳහන් කළේය.

නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත කේ. රණසිංහ, හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ජොනතන් අලස්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් වන සන්ජේ විජේමාන්න, දමිත් පල්ලෙවත්ත යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *