2023 වසරේ වැඩි මිලට ඉන්දියාවෙන් බස් ගෙන්වීමෙන් රු. මිලියන 3000ක පාඩුවක් වෙයි

විද්‍යාත්මක පදනමකින් හා අවශ්‍යතා විශ්ලේෂණයකින් තොරව ඉන්දියාවෙන් බස් රථ මිලදී ගැනීම හේතුවෙන් රුපියල් මිලියන 3010ක් අමතරව ගෙවීමට සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.

ඒ, විගණකාධිපති දෙපාර්තමේන්තුව 2023 වසරට අදාළ වාර්ෂික විගණන වාර්තාව නිකුත් කිරීමත් සමගයි.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් ගෙවා එම බස් රථ මිලදී ගෙන තිබේ.

ආසන 54 සහ ආසන 35 බැගින් වූ බස් රථ 500ක් මිලදී ගැනීමට ප්‍රසම්ප්‍රාදන කටයුතු ආරම්භ වී තිබුණේ, 2018 වසරේ ලබාදුන් අමාත්‍ය මණ්ඩල අනුමැතියකට අනුවයි.

එහෙත්, 2020 වසරේ පැවති ආණ්ඩුව ගත් නව ප්‍රතිපත්තිමය තීරණයකට අනුව ඒ වෙනුවට බස් රථ 600ක් ගෙන්වීමේ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ වී තිබේ.

ආසන 45 සහ ආසන 35 බැගින් වූ බස් රථ, ඊට ඇතුළත්ය.

ඒ අනුව සැලසුම් කළ බස් රථ ගණනට වඩා බස් රථ සියයක් වැඩියෙන් මිලදී ගැනීමට ප්‍රසම්පාදන කටයුතු සිදුකර තිබේ.

එම සියලු ප්‍රසම්පාදන ක්‍රියාවලින් බැහැරව 2023 වසරේදී නව බස් රථ 500ක් මිලදී ගෙන තිබුණේ, අමාත්‍ය මණ්ඩල අනුමැතියකිනි.

ආසන 32 ක් සහිත බස් රථයක් මිලදී ගෙන තිබුණේ, අමෙරිකානු ඩොලර් 26 662.5 ක මුදලකටයි.

ඒ අනුව බස් රථ 500ක් සඳහා වැය වී ඇති මුදල අමෙරිකානු ඩොලර් එක් කෝටි තිස් තුන් ලක්ෂ එකොළොස්දහස් දෙසිය පනහකි.

ඒ අනුව ශ්‍රී ලංකා මුදලින් එක් බස් රථයක වටිනාකම, රුපියල් මිලියන 11.2 ක් පමණ වන බව විගණන වාර්තාවෙන් පෙන්වා දෙයි.

එය, 2018 වසරේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත මිලදී ගැනීමට සැලසුම් කළ බස් රථයක් සඳහා වැය වන මුදලට වඩා රුපියල් මිලියන 6.2 ක වැඩිවීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *