පසුගිය වසර දෙක තුළ වාර්තා වූ වර්ධන වේගය දිගටම පවත්වාගෙන යමින් මේ වසරේ (2026) දී ආර්ථිකය සියයට 4 – 5 කින් පමණ වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
මහ බැංකුවේ 2026 සහ ඉදිරිය සදහා වන ප්‍රතිපත්ති පෙර දැක්ම අද (08) උදේ ප්‍රකාශයට පත් කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය.
මූල්‍ය, බාහිර සහ මුදල් අංශ වැනි ආර්ථිකයේ ප්‍රධාන අංශ හරහා ආරක්ෂාවන් ගොඩනැගීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති නිසා අතීතයට වඩා බොහෝ වේගයෙන් මෙම සුළි කුණාටුවේ විනාශයෙන් ගොඩ ඒමට ආර්ථිකයට වැඩි ධාරිතාවක් ඇති බවට විශ්වාස කරන බව ද අධිපතිවරයා කීවේය.
2025 වසරේ දී, ශ්‍රී ලංකාව ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යන අතරම සාර්ව ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමෙහිලා කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ගත් බව ද ඔහු කියා සිටියේය.