තමා දූෂණය කළ බවට බොරු පැමිණිල්ලක් දැමූ 22 හැවිරිදි තරුණිය හිරේ දමයි

තමාව දූෂණය කළ බවට ව්‍යාජ පැමිණිල්ලක් කළ උසස් අධ්‍යාපනය ලබන 22 හැවිරිදි තරුණියකට කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා විසින් මාසයක අනිවාර්ය සිරදඬුවමක් පෙරේදා (05) නියම කළේය.

කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ එම තරුණිය පෙනී සිටි අවස්ථාවේදී මෙම සිරදඬුවම අධිකරණය මඟින් නියම කරනු ලැබීය.

රාජ්‍ය නිලධාරීන් වූ පොලිස් නිලධාරීන්ට අසත්‍ය තොරතුරු ලබා දී ඔවුන්ට ලැබී ඇති නීත්‍යනුකූල බලය තවත් අයකුගේ අවාසියට හා පාඩුවට යෙදවීමෙන් ලංකා දණ්ඩනීති සංග‍්‍රහයේ 180 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බවට අධිකරණය මඟින් තීරණය කරමින් ඇයට එරෙහිව මෙම නියෝගය නිකුත් කළේය.

මෙසේ සිරදඬුවම් නියම වූයේ ඇළබඩගම පන්නල ලිපිනයේ පදිංචි උදේෂිකා කාවින්දි නමැති තරුණියකි.

මෙම තරුණිය විසින් තමාව පුද්ගලයකු විසින් දූෂණය කළ බවට කුලියාපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතා හමුවේ පැමිණිල්ලක් කර තිබිණි. පොලිස් අධිකාරිවරයා ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ වගකීම එවකට කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා ධනංජනී බස්නායක මහත්මියට භාරදී තිබිණි.

ඒ අනුව විමර්ශන පැවැත්වූ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් ඇගේ ප්‍රකාශ මත ඇයව දූෂණය කළ බව කියන තරුණයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එම තරුණයා දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වීමේදී හෙළිවී ඇත්තේ රිමාන්ඩ් භාරයට පත් කළ තරුණයා සමඟ මෙම තරුණිය පෙම් සම්බන්ධයක් පවත්වා ඇති බවත් ඒ අනුව මෙම යුවළ අවස්ථා කිහිපයකදීම ලැගුම්හල් වෙත ද ගොස් ඇති බවය.

විමර්ශනවලින් හෙළිවූ මෙම තොරතුරු අධිකරණයට කරුණු වාර්තා කිරීමට ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් පියවර ගත්තේය.

රජයේ සේවිකාවක් වූ උප පොලිස් පරීක්‍ෂිකා ධනංජනී බස්නායක හා කාන්තා පොලිස් කොස්තාපල් සුගන්ධිකා (11963) යන නිලධාරීන් ඉදිරියේ පුද්ගලයකු අතින් තමා ස්ත්‍රී දූෂණයට ලක්වූ බවට චූදිත තරුණිය ලබාදුන් ප‍්‍රකාශ අනුව සැකපිට අත්අඩංගුවට ගත් එම පුද්ගලයා දින 14ක් රක්‍ෂිත බන්ධනාගාරගත කොට පවා තිබූ බවත් පසුව දිගින් දිගටම කළ විමර්ශනවලදී දෙදෙනා අතර සැලකිය යුතු කලක් ප්‍රේම සබඳතාවක් තිබී ඇති බවට තොරතුරු හෙළිව ඇති බව එහිදී ළමා හා කාන්තා කාර්යාංශය චෝදනා සංශෝධනය කරමින් වාර්තාවත් ගොනු කරනු ලැබීය.

එම පෙම් සබඳතාව තරුණියගේ මවුපියන්ට සැලවූ නිසා එල්ලවන චෝදනාවලින් මිදීමට එම තැනැත්තිය එසේ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බව තහවුරු වූ බව ද කුලියාපිටිය කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂිකා තේජානි වීරසේකර මහත්මිය අධිකරණයට කරුණු දැක්වූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *