ඉරානය, ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා කෘෘස් මිසයිල 100ක් පමණ සූදානම් කරගෙන සිටින බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වාර්තා කිරීමත් සමඟ එම කලාපය වෙත ලෝක බලවතුන්ගේ අවධානය යොමුවී තිබෙනවා. ඉරානය ඉතාමත් ආසන්න දිනක ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කරනු ඇති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ. ඒ බව පවසමින් තම අමෙරිකානු පාලනය විසින් එවන් තත්වයක දී ඊශ්‍රායලයේ ආරක්ෂාවට සහාය දක්වන බව ඔහු කියා තිබුණා.
ඉරානයට අනතුරු අඟවමින් ඔහු පවසා ඇත්තේ එවැනි ප්‍රහාර එල්ල නොකරන ලෙසයි.
කලාපීය උණුසුම තවත් තීව්ර කරමින් නිකුත් වූ මේ වාර්තාවට අනුව එම ප්‍රහාර ඊශ්‍රායලය වෙත මෙන්ම කලාපයේ ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ලවීමේ අවදානමක් පවතින බවයි කියන්නේ. අමෙරිකාව මෙම අනාවරණය කළේ ඉරානය සිය හමුදා සහ අවි, කලාපය පුරා ස්ථානගත කරමින් පවතින බවට හඳුනාගැනීමෙන් පසුව බවයි වාර්තා වන්නේ. කලාපය වෙත අතිරේක බලඇණි යොමුකිරීමටත් අමෙරිකාව දැනටමත් කටයුතු කරමින් සිටිනවා.
ඉරාන ප්‍රහාරයක් එල්ල වීමට ඇති අවදානම මත පදනම්ව ඊශ්‍රායලයේ රැඳී සිටින සිය සේවකයින් තානාපති කාර්යාලයෙන් පිටතට යාම සීමා කිරීමට අමෙරිකානු රජය තීරණය කළේ ඊයේ (12) දිනයේ දී යි.
පසුගිය සතියේ ඩැමස්කස් හි ඉරාන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඇතුළු 13 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පළිගැනීමේ අනතුරු ඇඟවීම් වර්ධනය වීමත් සමඟම ඊශ්‍රායලය ඉරානයේ සෘජු ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසෙන බවයි කියන්නේ. එක්සත් ජනපදය සහ අනෙකුත් බුද්ධි තක්සේරු කිරීම් පවසා ඇත්තේ ප්‍රතිප්‍රහාර බොහෝ විට හෙට 14 වෙනිදා ඉරිදා දිනයේ පැමිණිය හැකි බවයි. පෙර නොවූ විරූ ප්‍රහාරය සමස්ත කලාපීය යුද්ධයක් අවුලුවාලිය හැකි බවයි වාර්තා වන්නේ.
ඩමස්කස් ප්‍රහාරයේ වගකීම ඊශ්‍රායලයට පැවරූ ඉරානය ඊට ප්‍රතිචාර දක්වන බවද අවධාරණය කළේ ඊශ්‍රායලය එහි වගකීම භාරගෙන නොමැති පසුබිමක යි.
වෝල් ස්ට්‍රීට් ජර්නල් සහ බ්ලූම්බර්ග් විසින් වාර්තා කරන පරිදි ඩ්‍රෝන යානා සහ නිරවද්‍ය මිසයිල සහිත බෝම්බ ප්‍රහාරයක් ඉදිරි පැය 24 ඇතුළත ඊශ්‍රායලය වෙත පැමිණිය හැකියි.
ඉරානය සතුව තම දේශසීමාවේ සිට කිලෝමීටර් 2,000ක් තරම් දුරින් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ හැකි බැලිස්ටික් සහ කෲස් මිසයිලවල සැලකිය යුතු තොගයක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් ඊශ්‍රායලය, සෞදි අරාබිය, කටාර් සහ අනෙකුත් මැදපෙරදිග පාලනයන් සමඟ හදිසි සාකච්ඡා කරන බවයි කියන්නේ. අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඉරානයේ තර්ජනය සම්බන්ධයෙන් හදිසි සාකච්ඡා සඳහා එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරි ජෙනරාල් මයිකල් කුරිල්ලා ද ඊශ්‍රායලයට යවා ඇති බව පැවසෙනවා.
මේ අතර මිසයිල 100ක් ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට හරවා තිබෙන බව ද වාර්තා වේ.