මේ වසරේ සංචාරකයින් මිලියන 03ක් ගෙන්න අවශ්‍ය පහසුකම් සපයන්න ජනපති උපදෙස් දෙයි

ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බැවින් මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුණාත්මක යටිතල පහසුකම් සහ සේවාවන් සැපයීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරණවා. ඒ සංචාරක අමාත්‍යාංයේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (17) පැවැති සාකච්ඡාවේදී. මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

මෙවර අයවැයෙන් සංචාරක අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන සහ ඒ යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ මෙහිදී නිලධාරීන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළා. මෙහිදී සංචාරක ක්ෂේත්‍රයේ නව පියවරක් තබමින් සංචාරකයින් මිලියන 03ක් මෙම වසරේදී මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කෙරෙන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට මෙම ප්‍රතිපාදන යොදා ගැනීම පිළිබඳවද මෙහිදී අවධාරණය කෙරුණා.

ඊට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා සහ සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *