මෙහෙම ගියොත් ජල විදුලිය තව සති 6යි විදුලි ඉන්ජිනේරුවෝ අනතුරු අගවයි

පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය කළ හැක්කේ, තවත් සති 6කට පමණක් යැයි ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉන්ජිනේරුවෝ අනතුරු අගවති.

දිවයිනට ම විදුලිය සැපයීම සඳහා ගිගාවොට් පැය 130ක පමණ ධාරිතාවක් මේ වනවිට පවතින බව ඔවුහු සඳහන් කරති.

පෙර වසරවලට සාපේක්ෂව මේ දක්වා ජල විදුලි බලාගාර ප්‍රශස්ත ජල මට්ටමක පැවතියේ අනපේක්ෂිතව ලැබුණු අධික වැසි නිසා බව ත් ඉකුත් සතිය වනවිට එම සමස්ත ජල ධාරිතාව 80% ඉක්මවා තිබුණ බව ත් ජ්‍යෙෂ්ඨ විදුලි ඉන්ජිනේරුවෙක් පැවසීය.

මේ වනවිට කාසල්රි මාවුස්සාකැලේ ජල ධාරිතා 70% ඉක්මවා ඇති අතර සමනල වැව හා රන්දෙණිගල ජලාශවල ජල මට්ටම 85% ඉක්මවා ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

ඔහු තවදුරට ත් සඳහන් කළේ, වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව 90% ඉක්මවා ඇති බව ය.

කෙසේ නමුත්, මෙම ජලාශවලින් පානීය ජලයට සහ ගොවිතැන් කටයුතු සඳහා ජලය මුදාහැරීමට සිදුවුවහොත් විදුලිය උත්පාදනය කිරීම සඳහා ජලය ප්‍රමාණවත් නොවනු ඇති බව ද එම ජ්‍යෙෂ්ඨ විදුලි ඉන්ජිනේරුවා සඳහන් කළේ ය.

මෙම පසුබිමෙහි තාප විදුලි බලාගාර වැඩි වශයෙන් යොදාගැනීමට සිදුවීමෙන් විදුලි ඒකකයක නිෂ්පාදන වියදම ජල විදුලි නිෂ්පාදනයට සාපේක්ෂව ඉහළ යෑම නොවැළැක්විය හැකි යැයි ද ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

මේ තත්ත්වය හේතු කරගනිමින් ලංවිම සිය විදුලි නිෂ්පාදන ධාරිතාවෙන් 65%ක් තාප බලාගාර යොදාගනිමින් දැනටම ත් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති අතර වැඩි ප්‍රතිශතයක තිබූ ජල විදුලි නිෂ්පාදන ධාරිතාව 20% දක්වා අඩු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *