කෙහෙළිය ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි – රුපියල් මිලියන 75ක් රජයට ගෙවන ලෙස කෙහෙළිය රඹුක්වැල්ලට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ, ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව ලියාපදිංචි නොකළ සමාගමකින් සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීම තුළින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් මිලියන 75 ක මුදලක් රජයට ගෙවිය යුතු බවට අදාළ නඩු තීන්දුව මඟින් සඳහන් කර තිබෙනවා.

ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවක ලේකම් ජනක චන්ද්‍රගුප්ත විසින් රුපියල් මිලියන 50 ක මුදලක් ද, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න විසින් රුපියල් මිලියන 50 ක මුදලක් ද රජයට ගෙවිය යුතු බවයි නියෝගයේ සඳහන් වෙන්නේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන විසින් තවත් රුපියල් මිලියන 50 බැගින් වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බවද සඳහන්.

Transparency International Sri Lanka ආයතනය ඇතුළු පාර්ශ්ව දෙකක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව, විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *