අධි අවදානම් කලාපවල නිවාස 9,452 ක පදිංචිකරුවන් වෙනත් සුරක්ෂිත ඉඩමක නිවසක් සමග නැවත පදිංචි කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිර්දේශ ලබාදී ඇත.
බදුල්ල, කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය, රත්නපුර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක 13 පිහිටි අධි අවදානම් කලාපවල තිබෙන නිවාස 9,452 ක පදිංචිකරුවන් වෙනත් සුරක්ෂිත ඉඩමක පදිංචි කළයුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පෙරේදා (13 වැනිදා) නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් කර ඇත.
මෙම වාර්තාවට අනුව, පළමු ප්‍රමුඛතාව යටතේ වෙනත් ඉඩමක කඩිනමින් නැවත ඉදිකළ යුතු නිවාස සංඛ්‍යාව 2,025 ක් වන අතර, දෙවන ප්‍රමුඛතාව යටතේ වෙනත් ඉඩමක කඩිනමින් නැවත ඉදිකළ යුතු නිවාස සංඛ්‍යාව 2,499 කි. නිවසට හානි සිදුව නොමැති නමුත් පදිංචියට නුසුදුසු නිවාස සංඛ්‍යාව 4,928 කි.
මෙලෙස වෙනත් සුරක්ෂිත ඉඩමක නිවසක් සමග නැවත පදිංචි කිරීම සඳහා නිර්දේශ කර තිබෙන අධි අවදානම් කලාපවල වැඩිම නිවාස සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්රික්කයේය. එම නිවාස සංඛ්‍යාව 3,355 කි.
මෙහිදී පළමු ප්‍රමුඛතාවට අදාළ නිර්ණායක ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සඳහන් කර ඇත්තේ නායයෑම් හේතුවෙන් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් හානිවූ නිවාස හෝ එසේ ක්ෂණිකව හානිවිය හැකි නිවාසය.
දෙවන ප්‍රමුඛතාවට අදාළ නිර්ණායක ලෙස සඳහන්කර ඇත්තේ නායයෑම් ලක්ෂණ පෙන්නුම් කරන අතර නායයෑම ආරම්භ වියහැකි සක්‍රීය කලාපය තුළ පිහිටි නිවාසය.
ව්‍යුහාත්මක සහ ව්‍යුහාත්මක නොවන නායයෑම් අවම කිරීමේ ක්‍රමවේද සමග එම ඉඩමේම පදිංචිය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඉහත දිස්ත්‍රික්කවල මධ්‍ය අවදානම් කලාපයේ නිවාස 11,363 කට ඉකුත් 13 වැනිදා වනවිටදී නිර්දේශ කර තිබේ.