මඟුල් ගෙදරකට ගොස් මධුවිත පානය කර සූර්වී වතුර කියා කළුතෙල් පානය කළ පුද්ගලයකු ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට ඇතුළත් කිරීමේ සිදුවීමක් ගොඩකවෙල අල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා විය.
ඉකුත්දා ගොඩකවෙල ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකට මනාල යුවළගේ නෑදෑයන් සහ හිතවතුන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ. ඒ මොහොතට ආරාධිතයකු ලෙස සහභාගි වී ඇති මෙම පුද්ගලයා තවත් පිරිසක් සමග එක්ව අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් අනතුරුව නටමින් ගී කියමින් සිට රාත්‍රිය ආසන්න වීමත් සමග උත්සව ශාලාවෙන් පිටව ගොස් ඇත.
පසුව තවත් පිරිසකගේ සහායෙන් අල්පිටිය ප්‍රදේශයට පැමිණ ඇති මොහු එහිදීද මිතුරන් සමග මධුවිත පානය කර නිවසට ගොස් ඇත්තේ අසිහියෙනි.
එලෙස නිවසට ගිය මෙම පුද්ගලයා වතුර යැයි සිතා මුළුතැන්ගෙයි පසෙක තබා තිබූ කළුතෙල් බඳුන ගෙන බී ඇති අතර එහිදී ඔහු කළුතෙල් බඳුනෙන් අඩක් පමණ පානය කර ඇති බව වාර්තා විය.
මෙලෙස කළුතෙල් පානය කිරීමෙන් රෝගී වූ මෙම පුද්ගලයා පවුලේ ඥාතීන් කහවත්ත මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.