8 හැවිරිදි සිසුවා පාසලේ පන්ති කාමරයට ගිනි තියයි

ආණමඩුව ප්‍රදේශයේ විදුහලක සංගීත කාමරය ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේම 8වන ශ්‍රේණියේ සිසුවෙකුගෙන් පොලීසිය ප්‍රශ්න කර තිබේ.

මෙම ගිනිතැබීම සඳහා එම සිසුවාට අමතරව තවත් සිසුවෙකු ද සම්බන්ධ වී ඇති බවට සැක කෙරෙයි.

පසුගිය 04 වනදා මෙම විදුහලේ සංගීත ඒකකය ගිනි ගැනීමකින් විනාශවී තිබූ අතර එය අනෙක් ගොඩනැගිලි වෙත පැතිර යාම වැළැක්වීම සඳහා විදුහල්පතිවරයා සහ ගුරුවන් පිරිසක් සමත්වී තිබුණි.

අදාළ ගිනිගැනීම විදුලි කාන්දුවක්ද නැතහොත් ගිනි තැබීමක්ද යන්න සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කළේය.

එහිදී හෙළිවී ඇත්තේ පාසල් සිසුවෙකු දහවල් කාලයේ පාසල පිටුපස ආරක්ෂිත වැටෙන් පාසල් භූමිය වෙත පැමිණ ඇති බවය. 

මෙහිදී අදාළ සිසුවාගෙන් පොලිස් බුද්ධි අංශ නිලධාරීන් විසින් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ තොරතුරු ලැබී ඇත්තේ දිවුල් කැඩීමට ගසට ගැසූ ගලකින් සංගීත කාමරයේ වීදුරුවක් බිඳී ගිය බවය.

අද දෙරණ මේ සම්බන්ධයෙන් ආණමඩුව පොලීසියේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිසුවෙකුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවය. 

සැකකාර සිසුවා හා ඔහුගේ මිතුරා බව කියන අනෙක් පාසල් සිසුවාද අත්අඩංගුවට ගැනීමට පෙර අධිකරණයෙන් උපදෙස් ලබාගැනීම සඳහා ආණමඩුව පොලීසියේ නිලධාරීන් අද (06) අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *