මේ වසරේ පසුගිය මාස කිහිපය තුළ ලංකාවට පිරිපහදු කරන ලද පෙට්‍රල් 92 ගෙනැවිත් තිබෙන්නේ රුපියල් 195 කට බවත් ඩීසල් ගෙනැවිත් ඇත්තේ ති රුපියල් 200 කට ආසන්න මුදලකට බවත් වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව හෙළිදරව් කරයි.
මේ සම්බන්ධව අද (07) පාර්ලිමේන්තුවේ හෙළි කළ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේ එක් පෙට්‍රල් ලීටරයක් සඳහා ඩීසල් ලීටරයක් සඳහා අධික බද්දක් ගෙවන ජනතාවක් සහිත රටක ප්‍රවාහනය, ආහාර නිශ්පාදනය, කර්මාන්ත ක්ෂේත්‍රය ඇතුළු සමස්ථ ආර්ථිකට වැටී ඇත්තේ බරපතල විලංගුවක් බවය.
ඔහු පවසන්නේ මෙම මූල්‍ය වාර්තාව තුළ ඇති ප්‍රකාශනයන් අනුව රටේ ප්‍රාථමික ශේෂයේ කිසියම් ධනාත්මක වර්ධනයක් ඇති කරගෙන ආණ්ඩුවේ ආදායම් වර්ධනය කරගැනීම ඇතුළු ධනාත්මක කරුණු සම්බන්ධව රටක් ලෙස සතුටු විය හැකි නමුත් රටේ බැංකු පද්ධතියේ යම් බිඳවැටීමක් ඇතුලු වාර්තාවෙන් ප්‍රකාශ නොවන කරුණු ගණනාවක් පවතින බවය.
ඔහු මෙසේ ද පැවසුවේය.
“විශේෂයෙන්ම ලංකා බැංකුවේ තැන්පතු ප්‍රමාණය පළවෙනි මාස හතර ඇතුළත 3.6%කින් පහළ ගිහින් තියෙනවයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ බැංකු පද්ධතියේ රටේ තියෙන ලොකුම බැංකුවේ වත්කම් ප්‍රමාණයත් ඒ වගේම ඒගොල්ලන්ගේ තැන්පතු ප්‍රමාණයත් 3.6% කින් අඩුවෙලා තිබෙන බව මේ වාර්තාවේ සඳහන් වෙනවා.
මෙහි සඳහන් නොවෙන තව විශාල කරුණු ගණනාවක් තිබෙනවා. උදාහරණයක් හැටියට ලංකා විදුලිබල මණ්ඩලය ලාභදායී වෙලා තියෙනවා. හැබැයි, ඒ විදුලි බිල ගෙවාගන්න බැරුව, කර්මාන්ත ක්ෂේත්‍රයේ 20 ක් වැහී ගිහින් තියෙනවා. ඒ වගේම, ඒ ක්ෂේත්‍රයේ කර්මාන්ත වෙළඳාම ඒ වගේම සාමාන්‍ය විදුලි පරිභෝජකයා මේ විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි දැවැන්ත සමාජ අර්බුදයකට ලක්වෙලා තියෙනවා.
ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ඒ වගේම අයි ඕ සී එක, ඒ වගේම සිනොපෙක් එක මේ සියලු ආයතන ලාභ ලබලා තියෙනවා. විශාල බදු මුදල් ආණ්ඩුවට ලබාදීලා තියෙනවා. මේ අවුරුද්දේ අවසාන මාස කිහිපය තුළ ලංකාවට පිරිපහදු කරන ලද පෙට්‍රල් 92 ගෙනැවිත් තිබෙන්නේ රුපියල් 195 කට. ඒ වගේම ඩීසල් ගෙනල්ලා තියෙන්නේ රුපියල් 200 කට ආසන්න මුදලකට. එතකොට මේ ඉතුරු ටික බදු සහ මේ ආයතන වල ලාභ.
විශේෂයෙන්ම මේ ඩීසල් පිළිබඳව මේ අධික බදු ඒ වගේම අධික ලාභ ඉපයීමේ ක්‍රියාවලිය හරහා, අතීතයේ ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්, තෙල් සංස්ථාව ඇතුළු ඒ ආයතන වල. මේක නිසා ආර්ථිකයට ඇතිවෙන බලපෑම කොච්චරද? ප්‍රවාහනය කියන කාරණයත් එක්ක, ආහාර නිෂ්පාදනයට, ට්‍රැකටර්වලට, ලොරි රථ වලට, පොදු ප්‍රවාහනයට විශාල බාධාවක් එල්ල වෙනවා ආර්ථිකයේ ඉදිරි වර්ධනයට විශාල විලංගුවක් ඒක තුළින් ලැබෙනවා.
මේ ක්‍රියාවලිය ඉදිරියට ගමන් කිරීමේදී රැකියා අහිමිවීම මගින් කර්මාන්ත වැසී යාම මගින් ඒ වගේම මේ අධික ජීවන බර දරා ගැනීමට නොහැකි වීම නිසා මිනිස්සු පීඩාවට පත් වෙලා තියනවා.
අපි මේ සභාවට අපගේ ක්‍රම සහ විධි වාර්තාවෙන් ඉදිරිපත් කළා ආහාර මිල ගණන් පාලනය නොකිරීම නිසා ඇති වී තිබෙන තත්ත්වය. ඒ නිසාම අපි ඒකට මැදිහත් වීමේ ප්‍රතිඵලයක් හැටියට විශේෂයෙන්ම පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය, පාරිභෝගික කටයුතු අධිකාරිය කිසියම් දුරකට අපට පාලනයක් ඒ සම්බන්ධයෙන් ඇති කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.
නමුත් ඒ පාලනය ඉදිරි කාලයේ දී ඇතිකර ගැනීමට නම් අනිවාර්යයෙන්ම මේ රටේ වෙළඳපොලේ විවෘත භාවයක්, වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය මිනිස්සු දැනගන්න අවශ්‍යයි ඒ කාරණා මොනවද කියලා. උදාහරණයක් හැටියට රටට ඖෂධ ගෙන්වන්නේ කීයටද කියලා මිනිස්සු දැනගන්න අවශ්‍යයි. තමන් ඖෂධයක් මිලදී ගන්න යනකොට. තමන් පෙට්‍රල් ලීටරයක් ගහන්න යන කොට පෙට්‍රල් කීයටද ගෙනාවේ කියලා දැනගන්න අවශ්‍යයි. තමන් ගෙවනකොට. මේකේ හැටියට ගල් අඟුරු මිල ඉතා සීඝ්‍රයෙන් අඩු වෙලා තියෙනවා. ගල් අඟුරු ටොන් එකක් කීයද? කිලෝවක් කීයද? විදුලි ඒකකයක් කීයද? කියන එක දැනගන්න අවශ්‍යයි. ආහාර ගන්නකොට අර්තාපල් කීයටද ගෙනාවේ? කීයටද ගත්තේ? ලොකු ළූණු කීයටද ගෙනාවේ? කීයටද විකුණන්නේ? මේ පිළිබඳ දැනුවත්භාවයක් අවශ්‍යයි.
ඉතින් කණගාටුවට කාරණේ, වසර 15 ක පමණ කාලයක සිට මේ ක්ෂේත්‍රවල ඩිජිටල්කරණය වෙනුවෙන් විශාල උනන්දුවක් විශාල වැඩපිළිවෙළක් තිබුණත් තාමත් ලංකාවේ ඉන්නේ අවුරුදු 15 ක් පිටිපස්සේ. අපේ අල්ලපු රට වෙච්චි ඉන්දියාව අපේ අල්ලපු රටවල් වෙච්ච බංගලිදේශේ, අපේ අල්ලපු රටවල් වෙච්ච පාකිස්තානේ, මේ හැමතැනම ප්‍රශ්න තියෙනවා. නමුත් ඒ රටවල් අපට වඩා සාක්ෂරතාවයෙන් අඩුයි. එනම් නූගත් අපට වඩා වැඩියි. ඒක පුද්ගල ආදායම අඩුයි. එනම් දුප්පත්. අපි තරම් හොඳ සම්බන්ධිතභාවයක් නෑ. නමුත්, මේ සියලු ක්ෂේත්‍රවල ඒ අය විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන යනවා.
ඒ නිසා කවර ආණ්ඩුවක් ඉදිරි කාලයේ මේ ජනාධිපතිවරණයක් එනවා ඒ ජනාධිපතිවරණය කවර ආණ්ඩුවක් ආවත් මේ රටේ ඩිජිටල් යටිතල පහසුකම නැංවීම ප්‍රමුඛතම අරමුණ විය යුතුයි. මේ රටේ හැමදාම මේ පාර්ලිමේන්තුවේ අපි කතා කරලා තියෙන්නේ වරායවල් කීයක් හදලා තියෙනවද? අධිවේගී මාර්ග කීයක් හදලා තියෙනවද? විදුලි බලාගාර කීයක් හදලා තියනවද ගුවන්තොටුපොළවල් කීයක් හදලා තියෙනවද? කියන ඩිජිටල් යටිතල පහසුකම සෑම රාජ්‍ය ආයතනයක්ම සම්බන්ධීකරණය කරගෙන ගොඩනගා ගැනීම අපි කියනවා ඒකට Public Digital Infrastructure (PDI) මේක අද මේ රටේ අත්‍යවශ්‍ය දෙයක්.
මේක අද මේ රටේ තියෙනවා නම්, ග්‍රාමසේවක සහතිකයක් ගන්න ගියත්, උප්පැන්න සහතිකයක්, මරණ සහතිකයක්, පාස්පෝට් එක, ඒ වගේම හැඳුනුම්පත, එහෙම නැත්නම් ඊට ඔබ්බෙන් ගිහිල්ලා අපගේ ඉඩම් අයිතිය පිළිබඳව, නිවාස අයිතිය පිළිබඳව දඩ මුදල් ගෙවීම, ආදායම් බදු ගෙවීම, ආදායම් වියදම්, මේ සියල්ල මේ වේදිකාවක් මත කරන්න පුළුවන් නම්, මේ රටේ, මේ පාන් පිටි වලට, කිරිපිටි වලට, සීනි වලට, භූමිතෙල් වලට, පෙට්‍රල්වලට, ඩීසල් වලට බදු ගහන් නැතුව මේ රටේ බදු ආදායම පහසුවෙන්ම ට්‍රිලියන පහේ සීමාවට ගෙනියන්න පුළුවන්.