සුළි කුණාටුව හෙට – රටටම අවවාදාත්මක නිවේදනයක්

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය දෙසැම්බර් 01 දින පැය 23.30 වන විට උතුරු අක්ෂාංශ 10.3° සහ නැගෙනහිර දේශාංශ 85.3° ආසන්න ප්‍රදේශයේ, ත්‍රිකුණාමලයේ සිට කි.මි 490ක් පමණ ඊසාන දෙසින් පැවතුණ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත්, 2023 දෙසැම්බර් 03 දින වන විට සුළි කුණාටුවක් දක්වාත් තවදුරටත් වර්ධනය වනු ඇත.

මෙම පද්ධතිය, ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර 2023 දෙසැම්බර් 05 දින වන විට ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කරනු ඇති බවට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ.

දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දකුණු සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැක.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්, විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං බලාපොරොත්තු වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *