2025 දී රැකියා ලක්ෂයක් දෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

2025 වර්ෂයේදී තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබාදෙනවා.තවත් පනස්දහසකට වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව ලබාදෙනවා යැයි ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා අද (29) වෙනිදා සවස මොනරාගල සතිපොළ භූමියේදී පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළිය අමතමින් පැවසීය.

“ආර්ථික තත්වය හොද තත්වයට පත්වීම නිසා 2025 වසරේදී තරුණ තරුණියන් ලක්ෂයකට පමණ රැකියා අවස්ථාවන් ලබාදීමට හැකියි. තවත් තරුණ තරුණියන් පනස්දහසකට වෘත්තීය පුහුණුවක් ලබාදීම සඳහා රජයෙන් ආධාර මුදල් ලබාදෙනවා.

අහිමිවී තිබූ පොහොර සහනාධාරය 2020 සහ 2022 වසර වලදී කන්න හතරකට අප ලබාදුන්නා.එළවළු ඇතුළු අනෙකුත් වගාවන්ටද අවශ්‍ය පොහොර ලබාදුන්නා.එම නිසා නිෂ්පාදනය වැඩිවුණා.රජයේ ආදායම වැඩිවුණා.ඉදිරියේදී උක් වගාවටද පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරනවා.

රටේ නිෂ්පාදනය වැඩිකොට වැඩි ආදායමක් ලබාගැනීමට අවශ්‍ය වටපිටාව දැනට සකස්කර තිබෙනවා. ඉදිරියේදී අක්කර 25 සහ 50 ප්‍රමාණයේ කුඩාවැව් ප්‍රතිසංස්කරණය කර ඒ තුළින් ගොවීන්ට අවශ්‍ය ජලය ලබාදෙනවා. උමාඔය ව්‍යාපෘතිය යටතේ අක්කර දසදහස් ගණනකට ජලය සපයනවා.එහි සියලු ඉඳිකිරීම් ලඟදීම අවසන් කරනවා.

කුඹුක්කන්ඔය ජලාශ ව්‍යාපෘතියද ඉදිරියේදී නිමකිරීමට බලාපොරොත්තු වෙනවා.මේ වන විට බඩු මිලද අඩුවෙමින් පවතිනවා.අස්වැසුම ආධාර වැඩිකර තිබෙනවා. රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් දසදහස දක්වා වැඩිකර තිබෙනවා. 2025 වර්ෂයේදී රාජ්‍ය සේවක වැටුප රුපියල් විසිපන්දහසකින් වැඩිකරනවා.

දළ ජාතික නිෂ්පාදනය වැඩිකර වැඩි ආදායම් ලබන්නන්ගෙන් පමණක් බදු අයකරගෙන ජනතාවට සහන සලසනවා.ජනතා විමුක්ති පෙරමුණට හෝ සමඟි ජන බලවේගයට ආර්ථිකය දියුණුකිරීමේ සැලැස්මක් නැහැ.ඔවුන් බොරුවට කයිවාරු ගහනවා.

මගේ එකම අරමුණ ජීවනබර අඩුකර බදුබර අඩුකර ආදායම වැඩිකිරීමයි.සජිත් ප්‍රේමදාස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේ ගෝඨාභය දියත්කළ වැඩසටහනයි.එයින් සිදුවන්නේ.තවතවත්. රට අගාධයට පත්වීමයි.මා විසින් ආර්ථිකය ගොඩනැගීමට ක්‍රියාත්මක කරන සැලසුම ඉදිරි වසර පහ තුළ රට තුළ ක්‍රියාත්මක වුණොත් අනිවාර්යෙන්ම රට ආර්ථික වශයෙන් ගොඩගෙන ජනතාවට යහපත් ජීවන තත්වයක් හිමිවනු නිසැකයි.

එබැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් ඡන්දය සලකුණුකොට රට බේරාගැනීමට දායකවන ලෙස පක්ෂ භේදයකින් තොර සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *