අනියම් ඇසුරක් පැවැත්වූ වැඩිමහල් සොහොයුරාට පහරදී ඝාතනය කර එම සිරුර දින තුනක් පුරා පෙට්‍රල් දමා පුළුස්සා අළු කළ පුද්ගලයෙක් අකුරැස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ සිරුර පුළුස්සා අළු බවට පත්කර පසුව එම අළු වූ ශරීර කොටස් මල්ලක දමා ඔයකට විසිකර ඇති බවයි.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අකුරැස්ස, හේනේගම, බලපාත, උඩුගමවත්ත හේන ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පුද්ගලයෙක්.
මෙලෙස මියගිය තැනැත්තාගේ බිරිඳ විසින් පොලිසියට පවසා ඇත්තේ පසුගිය ඔක්තෝබර් මස 28 වනදා තම සැමියා අකුරැස්සේ සිට දෙහිඅත්තකණ්ඩිය පිහිටි තම නිවසට පැමිණෙන බව කීවත් ඔහු ගැන මාසයක් මුළුල්ලේ කිසිදු තොරතුරක් නොමැති බැවින් තමන් විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකළ බවයි.
එම පැමිණිල්ල මත විමර්ශන සිදුකර අදාළ පුද්ගලයාගේ මියයෑම සම්බන්ධයෙන් ඔහුගේ බාල සහෝදරයා වූ 58 හැවිරිදි අයෙක් සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.