2023 සහ 2024 වර්ෂවලට අදාළ හිඟ බදු නොගෙවන මත්පැන් නිෂ්පාදනාගාරවලට 2025ට අදාළ වාර්ෂික බලපත්‍ර ලබානොදීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 2023 වසරට අදාළ හිඟ බදු මේ වසරේ නොවැම්බර් 30 වනවිට ගෙවා දැමීමටත් මේ වසරට අදාළ බදු මුදල් ද මේ වසර අවසන් වීමට පෙර ගෙවන ලෙසටත් සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් නිෂ්පාදකයන්ට මීට පෙර දැනුම් දී තිබිණි.
මේ වසරේ මේ මාසය (සැප්තැම්බර්) අවසන් වනවිට රුපියල් බිලියන 162ක බදු ආදායමක් බලාපොරොත්තු වන අතර මේ මාසයේ 15 වනවිට රුපියල් බිලියන 152ක බදු ආදායමක් උපයා ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ‘දිවයින’ට පැවසීය. සුරාබදු ආදායම ඉහළ යෑමට නව බලපත්‍ර ලබාදීම ද හේතුවක් වූ බව හෙතෙම පවසීය.
2024ට අදාළ නව බලපත්‍ර ලබාදී ඇති බවත් එය නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය පාලනයට ද පිටිවහලක් වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. මේ වසරේ මේ වනවිට සුරාබදු වශයෙන් 2023 වර්ෂයට සාපේක්ෂව බැලීමේදී බදු ආදායමේ සියයට විසිනවයයි දශම හයක (29.6) වැඩිවීමක් සිදුව ඇතැය ිද හෙතෙම කීය.
හිඟ බදු නොගෙවන එක්තරා මත්පැන් නිෂ්පාදන සමාගමක් ගැන නිතර චෝදනා එල්ල වන බවත් එම සමාගම ගෙවීමට ඇති හිඟ මුදලට වඩා දඩ මුදල තුන් ගුණයක් වීම නිසා මාසිකව ගෙවන බදු මුදල් දඩ මුදලෙන් අඩු කර ගන්නා අතර ඒ හේතුවෙන් එම සමාගමේ හිඟ බදු අඩු නොවන බවත් ඒ සම්බන්ධයෙන් සලකා බලා සහනයක් ලබාදෙන ලෙස එම සමාගමෙන් ඉල්ලීම් ලැබී ඇති බවත් ගුණසිරි මහතා කීය. ඇතැම් සමාගම්වල හිඟ බදු අයකර ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් ඇතැම් සමාගම් සමග වසර දහය, පහළොවක සිට නඩු කියමින් සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.