ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරවාරයේ දී අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුනොවූ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අද (08) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
“එවැනි දේවල ගැන කතා වුණේම නැහැ.මොකද අපි පැහැදිලිවම කිව්වා මේ තියෙන්නේ සංක්රමණීය කාලයක්. මැතිවරණ කාලයක්. ජනාධිපතිවරයා පත්වුණා විතරයි. එම නිසා ව්‍යාපෘති සමබන්ධයෙන් අලුත් තීන්දු හෝ කිසිවක් ගත්තේ නැහැ. ඒ ව්‍යාපෘති නතර කරන්න තීන්දු ගත්තෙත් නැහැ. අලුතෙන් ව්‍යාපෘති ආරම්භ කරන්න තීන්දු ගත්තෙත් නැහැ. සාකච්ඡාවක් ඇති වුණේවත් නැහැ.“
මේ අතර අදානි සමාගම සමග ඇතිකර ගෙන තිබෙන ගිවිසුම සම්බන්ධයෙන් තීරණ ගැනීම මහ මැතිවරණයෙන් පසුව සිදුකෙරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ප්රශ්නය – අදානි ගිවිසුම සම්බන්ධයෙන් වත්මන් පාලනයේ අදහස කුමක්ද?
පිළිතුර – අප ඒ ගිවිසුමේ තියෙන වාසි අවාසි සාකච්ඡා කළ යුතුව තියෙනවා. දැනට උසාවියේ ඒ පිළිබඳ නඩු කටයුත්තකුත් තියෙනවා. එහි විශේෂ ප්රශ්නය මතු වුණේ ඒකකයක් මිල දී ගන්න මුදලේ වැඩිකම. ඒ පිළිබඳව සමාලෝචනය කරලා තමයි අවසන් තීරණයක් ගන්නේ. ඒ පිළිබඳව කිසිම තීරණයක් මේ සංක්‍රමණික කාලය තුළ අරන් නැහැ.
ප්රශ්නය – දැනට ඒ පිළිබඳ සාකච්ඡා කෙරෙමින් පවතිනවාද?
පිළිතුර – ඒක අපි අලුත් ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ, මැතිවරණය අවසන් වුණාට පස්සේ කටයුතු කරන්නේ, දැනට ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. එකක් තමයි මහජන උපයෝගීතා කොමිසමෙන් ඉදිරිපත් වෙච්ච යම් යම් කරුණු තියෙනවා. උසාවියේ ඉදිරිපත් වෙච්ච කරුණු තියෙනවා. ඒ වගේම ඒ පිළිබඳව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු මහත්වරුන්ගේ සහ නිලධාරීන්ගේ ඉදිරිපත් වෙච්ච අදහස් තියෙනවා. ඒ සියල්ල සාකච්ඡා කරලා තමයි මේ තීරණ ගන්නේ.