එක්නැලිගොඩ පැහැරගෙන අතුරුදන් කිරීමට යුද හමුදා බුද්ධි නිලධාරීන් 9කට එරෙහි නඩුව ඇරඹෙයි

මාධ්‍යවේදී පගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු චෝදනා යටතේ ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරි ෂම්මි කුමාරරත්න මහතා ඇතුළු යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් නවදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (28දා) කොළඹ මහාධිකරණ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී ආරම්භ කෙරිණි.

මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බලල්ලේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එකී ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී විත්තිකාර යුද හමුදා නිලධාරීන් එකී පැහැර ගැනීම සිදුකළ සමයේදී භාවිත කළ ජංගම දුරකථන සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා ඉදිරිපත් කරමින් ප්‍රධාන පෙළේ දුරකථන සමාගම් දෙකක නිලධාරීන් දෙදෙනෙක් සාක්ෂි ලබාදුන්හ. එකී දුරකථන විශ්ලේෂණ වාර්තාවල සඳහන් අංක සිය සේවාදායකයන් භාවිත කළ ඒවා බව ඔවුන් පිළිගන්නා නමුත් දුරකථන කුලුනු සහිත පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන සිතියම් පිළිනොගන්නා බව විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න යන මහත්වරුන් ඇතුළු නීතිඥ මඬුල්ල විනිසුරු මඩුල්ලට පැවසූහ.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතාගේ මෙහෙයවීමෙන් එම දුරකථන සමාගම් නිලධාරීන් සාක්ෂි ලබාදුන් අතර වැඩිදුර සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් 6 වැනිදා දක්වා කල් තැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *