අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කර තිබෙන නවතම වාර්තාවන්ට අනුව, මෙම වසරේ ඔක්තෝබර් මාසයේ අපනයන ආදායම පසුගිය වසරේ ඔක්තෝබරය හා සසදා බැලීමේ දී 18% කින් පහත වැටී තිබේ.
මේ වසරේ ඔක්තෝබරයේ වෙළද භාණ්ඩ අපනයනයෙන් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 899.91 කි.
මීට පෙර අඩුම අපනයන ආදායමක් උපයා තිබුණේ අප්‍රේල් මාසයේ දී ය. එය ඇමරිකානු ඩොලර් මිලියන 814.13 කි.
මේ වසරේ වැඩිම අපනයන ආදායමක් උපයා තිබුණු මාසය අගෝස්තුවයි.
අගෝස්තු මාසයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.09 කි. එය පවා, පසුගිය වසරේ අගෝස්තුව හා සසදා බැලීමේ දී 13% ක පහත වැටීමකි.
මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබරය දක්වා කාලය තුළ සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.6 ක් උපයා තිබේ. එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී 67.2% ක වැඩි වීමකි.
වෙළද භාණ්ඩ අපනයනයෙන් 2023 වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 15.93 ක් සහ සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.58 ක් වශයෙන්, ශ්‍රී ලංකාව, මෙම වසරේ දී භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 18.51 ක් උපයා ගනු ඇතියි අපනයන සංවර්ධන මණ්ඩලය පුරෝකථනය කර තිබුණි.
නමුත් එම ඉලක්ක හඹා යාමට නොහැකි වනු ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.