ආණ්ඩුව පැනවීමට බලාපොරොත්තුවන බදු නිසා ලබන වාසරේදී එක් පුද්ගලයෙකුට තවත් රුපියල් 30,000ක් ආණ්ඩුවට ගෙවීමට සිදු වන බව ක්‍රම සහ විධි කාරක සභාව අනාවරණය කළේ ය.
2020 වසරට සාපේක්ෂව රටේ සෑම පුරවැසියෙකු ම මේ වන විට රුපියල් ලක්‍ෂයක් බදු ගෙවා ඇති බව ද මෙහිදී අනාවරණය විය.
කෙසේ නමුත් ආණ්ඩුවේ බලාපොරොත්තුව එය වුව ද, එකතු නොවුණු බිලියන 179ක් ඇති බවත් ඒවා වහාම පනතට අනුකූලව බැංකු ගිණුම්වලින් හෝ දේපළවලින් එම බදු අත්පත් කර ගැනීමට කටයුතු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කමිටුව මගින් මාර්ගෝපදේශ ලබා දීමට කටයුතු කළ යුතු බවත් කාරක සභාව සඳහන් කළේ ය.
රට තුළ කිසිදු බදු වැඩි කිරීමකින් තොරව, පවතින බදු ප්‍රමාණයම විධිමත්ව එකතු කිරීමේ යාන්ත්‍රණයක් ලෙස ඩිජිටල් වේදිකාවක් සැකසීම මගින් 45%කින් පමණ වැඩි කරගැනීමට හැකි බවත් රේගු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙනුත් මැදිහත් වීමක් සිදු කළ අතර එහිදී රේගුව සිදුකරන වැරදි නිසා රටට ඩොලර් බිලියන පහකට අධික මුදලක් අහිමිවන බව ද එම කාරක සභාව පෙන්වා දුන්නේ ය.
වරායේ සහ ගුවන්තොටුපළේ ඇති ස්කෑන් යන්ත්‍ර වෙනුවට කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ව්‍යාජ දේ හඳුනා ගැනීම, හොර බඩු ආදිය හඳුනා ගැනීමට යාන්ත්‍රණයක් සැකසීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කොට ඇති බව සඳහන් කළ කාරක සභාව වංචනිකයන්ගෙන් 300% බදු අය කිරීමට රේගුවට නියෝග ලබා දුන් බවත් ජූනි මස සිට මේ වනතෙක් රේගුවේ ආදායම තුන් ගුණයකින් වැඩි වී ඇති බවත් සඳහන් කළේ ය.
සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි කිරීමට මැදිහත් වූ බවත්, ව්‍යාජ ස්ටිකර් භාවිත කොට මත්පැන් වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරම නතර කිරීමට මැදිහත් වීම තුළින් සුරාබදු දෙපාර්තමේන්තුවට බිලියන ගාණක අතිරේක ආදායමක් එකතුවෙමින් පවතින බවත් කාරක සභාව වැඩිදුරටත් පැවැසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවේදී ය.