මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට දියත් කළ නොමිලේ රුධිරය පරීක්ෂා කිරීමේ වැඩසටහනට එක්වෙමින් රුධිරය ලබාදුන් පිරිස අතරින් ඒඩ්ස් වෛරසය ශරීරගතවී සිටි පුද්ගලයෙකු හඳුනාගෙන තිබේ.
මහනුවර ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය සහ මහනුවර නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ඉකුත් 01 වනදා මෙම රුධිර පරීක්ෂා කිරීමේ වැඩසටහන දියත් කර තිබුණි.
මෙහිදී පුද්ගලයින් 386 දෙනෙකු රුධිරය පරීක්ෂා කරගැනීමට පැමිණ තිබෙන අතර ඒඩ්ස් වෛරසය ශරීරගතවූ පුද්ගලයාට අමතරව Syphilis නම් සමාජ රෝගයට ගොදුරු වූ අයෙකු ද හඳුනාගත් බව මහනුවර ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ ප්‍රධානි වෛද්‍ය එම්.අයි.එම්. ලරීෆ් පැවසීය.
රුධිරය පරීක්ෂා කළ සියලු පුද්ගලයින්ගේ තොරතුරු ඒකකය සතුව පවතින බවත් ඒ අනුව ඒඩ්ස් හා සමාජ රෝගයට ගොදුරු වූ පුද්ගලයින් දෙදෙනා වහාම ඒකකට ගෙන්වා ප්‍රතිකාර ආරම්භ කළ බවත් ඔහු පැවසීය.
අදාළ පුද්ගලයින් දෙදෙනාම වයස අවුරුදු 55ක පමණ වයසැති පුද්ගලයින් වන බව වෛද්‍ය ලරීෆ් වැඩිදුරටත් සඳහන් කළේය.
ඒඩ්ස් වෛරසය ශරීරගතවූ බව නොදත් ලිංගික වශයෙන් සක්‍රීය පුද්ගලයෙකු සමාජයේ සැරිසැරීම ඉතා අවදානම් බවත් අනාරක්ෂිත ලිංගික එක්වීමක් සිදුවූයේ නම් රුධිර පරීක්ෂණයක් කරගැනීම අතිශයින් වැදගත් බවත් වෛද්‍යවරයා පැවසීය.
මහනුවර දිස්ත්‍රික්කයෙන් 1991 සිට මෙම වසරේ සැප්තැම්බර් මාසය දක්වා ඒඩ්ස් රෝගීන් 303 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අතරින් 208 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර කාන්තාවන් ගණන 81කි. මෙම රෝගීන් අතර වයස අවුරුදු 15ට අඩු පිරිමි ළමුන් 10 දෙනෙකු හා ගැහැණු ළමුන් 04 දෙනෙකු සිටින බව වෛද්‍ය ලරීෆ් කීය.
මෙම වසරේ මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයෙන් ඒඩ්ස් රෝගීන් 31 දෙනෙකු හඳුනාගෙන ඇත. මෙම වසරේ ඒඩ්ස් රෝගීන් දෙදෙනෙකුම මියගිය බව මහනුවර ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය පවසයි.