ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ මහියංගනය-දෙහිඅත්තකණ්ඩිය ප්‍රධාන මාර්ගය අසළ තිබී අලුත උපන් බිළිඳු මළ සිරුරක් සොයාගෙන ඇත.
මාර්ගයේ ගමන්කළ අයෙකු මළ සිරුර දැක පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
අනතුරුව එම ස්ථානයට පැමිණි ගිරාඳුරුකෝට්ටේ පොලිස් ස්ථානයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මළ සිරුර සොයාගන්නා විටත් එය නරක් වී තිබී ඇති අතර පොලීසිය සැකපළ කරන්නේ කිසියම් පුද්ගලයෙකු එම ස්ථානයට මළ සිරුර විසිකර දමා පළායන්නට ඇති බවටය.
මළ සිරුර සොයාගත් ස්ථානය ආසන්නයේ පාසලක් සහ බස් හෝල්ට් එකක් ද ඇති අතර ඒ ආසන්නයේ තිබී කළු පැහැති ගමන් මල්ලක් ද සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති අතර ගිරාඳුරුකෝට්ටේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.