බ්‍රා කප් ලංකාවේ හදන්න ඩොලර් මිලියන 35ක ගිවිසුමක් අත්සන් තබයි

තිසරපට සඳහා යොදාගන්නා බ්‍රා කප් ලංකාවේදී ම නිෂ්පාදනය කරගැනීම වෙනුවෙන් තාක්ෂණය පුළුල් කිරීමට අදාළව ඉතාලියේ බෙන්ජි ඇඟලුම් සමාගම ඩොලර් මිලියන 35ක වටිනාකම සහිත නව ගිවිසුමකට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග අත්සන් තබා ඇත.

ඉතාලියට අයත් බෙන්ජි සමාගම 2006දී කාන්තාවන් සඳහා තිසරපට නිපදවීම ආරම්භ කර ඇති අතර ශ්‍රී ලංකාවේ සිරිඕ, ඇල්ෆා ආදී නම්වලින් එම ඇඟලුම් කර්මාන්තශාලා පවත්වාගෙන යයි.

එම සමාගම ‘බ්‍රා කප්’ නිපදවීම සඳහා අවශ්‍ය අලුත්ම යන්ත්‍ර උපකරණ මෙරටට ගෙන ඒම සඳහා මෙම ආයෝජනය සිදු කර තිබේ.

මේ අනුව බෙන්ජි සමාගමේ ආයෝජන පුළුල් කිරීම මගින් දැනට නිපදවන මිලියන 30ක ‘බ්‍රා කප්’ ප්‍රමාණය සියයට 35කින් ඉහළ යනු ඇති බව ආයෝජන මණ්ඩලය පවසයි.

එමගින් තිසරපට නිපදවීම සඳහා චීනයේ සිට ‘බ්‍රා කප්’ ආනයන කිරීම සම්පූර්ණයෙන් ම නැවැත්වීමට හැකි වනු ඇති බව ත් මේ සඳහා පිටරටට ඇදීයන විදෙස් විනිමය මේ ඔස්සේ නතර වන බව ත් එම මණ්ඩලය සඳහන් කරයි.

මේ අතර, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් නව තාක්ෂණය ඉගෙනීමට දක්ෂ බැවින් ඇඟලුම් කර්මාන්තය පුළුල් කිරීම සඳහා තවදුරට ත් ශ්‍රී ලංකාවට ආයෝජන ගෙන එන බව බෙන්ජි සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ලජෝර්ජියෝ මොන්ට්‍රෙසර් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *