රජයේ නිල නිවාසවල සිටින බහිරවයන් පැන්නීමට වෙන ම ක්‍රම ඇතැයි ද සදාචාරය රැකගෙන නිවසින් පිටවී යාම මහින්ද රාජපක්ෂ මහතාට හොඳ යැයි ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු මේ බව පැවසුවේ, ලිඛිතව දැනුම් දුන්නොත් නිල නිවසින් යන බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශය ගැන කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ පැනයට පිළිතුරු වශයෙනි.
එහිදී ඇති වූ සංවාදය මෙසේය.
ප්රශ්නය : ලිඛිතව දැනුම් දුන්නොත් නිල නිවසින් යෑමට සූදානම් යැයි මහින්ද රාජපක්ෂ මහතා කිව්වා. එසේ ලිඛිතව දැනුම් දෙන්න සූදානම් ද?
අමාත්‍යවරයා : “රජයේ ගෙදරක සිටිමින් රජයෙන් ම යැපෙමින් ලියුමක් එව්වොත් යන්නම් කියලනෙ ඔය කියන්නේ. සදාචාරාත්මකව බලන්න. මේ අය සාමාන්‍ය පුරවැසියෝ නෙවෙයි. හිටපු ජනාධිපතිවරු. ඔය වගේ කාරණයකට ලියුමක් ආවොත් මම යන්නම් කියන සිල්ලර කේවල් කිරීම තනතුරට ගැළපෙන්නේ නෑ. එහෙම යන්න බැරි බහිරවයෝ වගේ බදාගෙන ඉන්නවා නම් තමයි. බහිරවයෝ පන්නන්න වෙන වෙන ක්‍රම තිබෙනවා. සදාචාරය රැකගෙන යෑම තමයි හොඳ.”