මේ ආණ්ඩුවට රටේ ජනතාවගේ ගැටලුවලට විසදුම් නොමැති බවට පසුගිය මාස තුනේදී ඔප්පුවී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති, වජිර අබේවර්ධන මහතා පවසයි.
“මහජන පරමාධිපත්‍ය බලගන්වමු” තේමාව යටතේ ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පසුගියදා පැවැති, ගාල්ල, අක්මීමණ සහ හබරාදූව මැතිවරණ කොට්ඨාසවල බලමණ්ඩල රැස්වීම් අමතා සභාපතිවරයා මෙසේද කීය.
“අපි කට කැඩෙනකන් අපේ රටේ මහජනතාවට කිව්වා මේ වැරැද්ද ජාතියට කරන්න එපා කියලා. මේක ආණ්ඩුවට බැනලා වැඩක් නෑ. ඡන්ද දායකයන්ට කොච්චර එපා කිව්වත් ඔවුන් ජාතියට මේ වැරැද්ද කරනවා. බලන්න මේ අය කරගන්න අපරාධය.
දැන් වර්තමාන ආණ්ඩුව බලයට ආවේ 77 වසරක සාපයක් ගැන කියලා. ඉතින් බලන්නකෝ මේ සාපය තිබුණු අවුරුදු 77ටම පොල් ගෙඩිය රුපියල් 100යිනේ. දැන් පොල් ගෙඩිය කීයද? රුපියල් 249යි. සමහර තැන්වල ඊටත් එහා. ඉස්සරහට රුපියල් 300ට විතර යයි. ඉතින් එහෙනම් අදට වඩා සාපය තිබුණු කාලේ හොඳයිනේ.
ඒකයි මම හැමතිස්සෙම කියන්නේ පහුගිය අවුරුදු දෙකෙත් රිළවුත් හිටියා, රනිලුත් හිටියා, පොලුත් තිබුණා. ප්‍රධාන හාල් මෝල් හිමියන් පස්දෙනාත් හිටියා, රනිලුත් හිටියා හාලුත් තිබුණා. ඉතින් ජනතාව මේ යථාර්ථය දැන්වත් තේරුම් ගන්න ඕන.
මෙන්න මේ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා මෙන්න මෙතැනදිම කිව්වේ, පළපුරුද්ද කියන්නේ ඉතා වැදගත් දෙයක්. ඒ නිසා පළපුරුද්ද නැති අයව පාර්ලිමේන්තු යවන්න එපා කියලා. නමුත් ජනතාව ඒක ඇහුවේ නැහැ. ජනතාව එය විහිළුවට ගත්තා, අපහාසයට ලක් කළා. පළපුරුද්දට කිව්වා හොරු කියලා.
හාල් තිබුණත් කඩවල විකුණන්න ඒවා ගේන්නේ නෑ. ඇයි? මේවා අල්ලලා ඒ මිනිස්සුන්ට දඩ ගහනවා. මේවා විකුණනව නම් ඉතින් කොහොමත් රුපියල් 275කට විතර තමයි විකුණන්න වෙන්නේ. කොහොම වුණත් මට නම් පේන විදිහට සිංහල අවුරුද්ද වෙනකොට කැකුළු හාල් කිලෝව රුපියල් 400ට විතර යයි. බලන්නකෝ ඉතින් අපේ රටේ මහජනතාව කරගත්ත වැඩේ.
ආණ්ඩුවට මේ ප්‍රශ්නවලට උත්තර නැති වුණාම අපිව අල්ලන් කියනවා අපි මේ අවුරුදු 77ක් රට පාලනය කරපු සාපයලු. මට නම් ඇත්තටම තේරෙන්නේ නෑ රට ඔවුන් ගෙනියන්නේ කොතැනටද කියලා. මහජනතාව දැන්වත් කල්පනාවෙන් වැඩ කරන්න ඕන. ඊට පස්සේ කියනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති ධුරයට පත් වුණාම විසිපස් වතාවක් රට ගියාලු. ඉතින් එතුමා රට භාර අරගෙන ගෙදරට වෙලා හිටියේ නැහැ.
එතුමා රට භාර අරගෙන මේ රට ගොඩගන්න රෑ 12 වෙනකන් වැඩ කළා. ජාත්‍යන්තරයට ගිහින් මේ ප්‍රශ්නවලට විසඳුම් හෙව්වා. ඒ කරපු කැපවීම් සහ උත්සාහයන්ගේ ප්‍රතිඵල නිසා තමයි පෝලිම්වල හිටිය මහජනතාව ගෙවල්වලට ගියේ, ඒ නිසා තමයි බංකොලොත් වෙලා නැත්තටම නැතිවෙලා තිබුණු රටක් අද මේ තත්ත්වයට අරගෙන ආවේ. හැබැයි එතුමා මේ දේවල් මාධ්‍ය ඉස්සරහට ඇවිත් කිව්වේ නෑ. එතුමා කිව්වද ටීවී එක ඉස්සරහට ඇවිත් මම රෑ 12 වෙනකන් වැඩකරනවා කියලා.
දැන් වර්තමාන ආණ්ඩුව කියනවා එයාලා රට භාරගත්තම සංචාරක කර්මාන්තය අතින් ලංකාව 10 වැනි තැනට ආවා කියලා. නමුත් 2018දී අපි තමයි ලෝකයේ පළවැනි තැන. මේක දරාගන්න බැරි වුණු තැන එල්ල කරනවා පාස්කුදා ප්‍රහාරය. සංචාරකයෝ එන එක වළක්වන්න. රනිල් රට පාලනය කරන එක වළක්වන්න. ඉතින් ඒකට අපේ රටේ මහජනතාවත් පොරකාගෙන ගිහින් සහයෝගය ලබාදෙනවා. අපි නම් කීයටවත් ඒ දේවල්වලට සහයෝගය දුන්නේ. අපි නම් මහජනයා පිළිගත්තත් නැතත්, අපි කරන්නේ හරිදේම තමයි.