දූෂිත රාජ්‍ය නිලධාරීන්ට එරෙහි නඩු හබවලට විපක්ෂය නීතිඥ සංචිතයක් හදයි

පසුගිය පාලන කාලයන්හිදී රාජ්‍ය ආයතනවල තීරක මට්ටමේ නිලධාරීන් ලෙස කටයුතු කළ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන 112ක් ඉදිරියට ගෙන යෑමට රජය මේ වන විට සැලසුම් කර ඇති බව වාර්තා වන අතර එම නිලධාරීන් සම්බන්ධයෙන් නීති සහාය ලබා දීමට නීතිඥ සංචිතයක් නිර්මාණය කිරීමට විපක්ෂයේ දේශපාලන නායකයන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

පසුගියදා ප්‍රවීණ පරිපාලන නිලධාරියෙකු වූ හිටපු අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ අත්අඩංගුවට ගැනීමත් සමග මේ පිළිබඳව සාකච්ඡාව සිදුකර ඇත්තේ පසුගිය සිකුරාදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු නායකයන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙනි.

එහිදී අනාවරණය වී ඇත්තේ, මෙම විමර්ශනවලදී බොහෝ විට අමාත්‍යංශ ලේකම්වරුන්ගේ පහළ මට්ටමේ අතිරේක ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් වැනි නිලධාරීන් ඉලක්කවී ඇති බව ය.

විවිධ රජයන් යටතේ සිදුකළ මූල්‍ය භාවිතාවන් සම්බන්ධව වන මෙම චෝදනාවලට එරෙහිව මෙම නිලධාරීන්ට මුහුණ දීමට සහාය වීමත් ඔවුන් යම් අධිකරණ කටයුතුවලට පිවිසෙන්නේ නම් ඊට සහාය වීමටත් නීතිඥවරුන් කිහිප දෙනෙකු ම මේ වන විටත් සිය එකඟත්වය පළ කර ඇති බව සඳහන් වේ.

ඒ සඳහා සමගි ජන සන්ධානයද නියෝජනය කරමින් මනෝ ගනේෂන් සහ වී. දිගම්බරම් යන මන්ත්‍රිවරු පැමිණ සිටි බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *