දේශබන්දුට එරෙහිව ලබා දුන් අධිකරණ තීන්දුවට ගරු කරන්න – සාලිය පීරිස් ආණ්ඩුවට කියයි


වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිළධාරීන් තිදෙනෙකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව බරපතල ලෙස සැලකිල්ලට ගත යුතුව ඇතැයි, නීතීඥ සංගමයේ හිටපු සභාපති, සාලිය පීරිස් මහතා පවසයි.

මිරිහාන පොලිස් ස්ථානයේ රදවා සිටිය දී, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු අදාල පොලිස් නිළධාරීන් තමන්ව වද බන්ධනයට ලක් කළ බවට චෝදනා කරමින්, රංජිත් සුමන්ගල නමැති පුද්ගලයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබුණි.

එම පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, වින්දිතයාට රුපියල් මිලියන දෙකක වන්දියක් ගෙවන ලෙස, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු අදාල පොලිස් නිළධාරීන්ට නියෝග කලේ ය.

ඊට අමතරව, දේශබන්දු තෙන්නකෝන් ඇතුළ පිරිසට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙසද, ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස් කොමිසමට නියෝග කලේ ය.

සාමාන්‍ය තත්ත්වය නම්, කිසියම් පොලිස් නිළධාරියෙකුට එරෙහිව, මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග වෙමින් පවතින අවස්ථාවක ඔහුට අදාල සියළු උසස් වීම් අත්හිටුවීමයි.

එමෙන්ම, එවැනි මූලික අයිතිවාසිකම් පෙත්සමකින් අදාල පොලිස් නිළධාරියා වරදකරුවෙකු ලෙස නම් කලහොත්, එය බරපතල කළු පැල්ලමක් ලෙස සලකන බවද නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලික පීරිස් මහතා පවසයි.

මේ තත්ත්වය, වැඩබලන වත්මන් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ද එසේම විය යුතු යැයි ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *