රුපියල් 11,000ක අල්ලසක් ගත් සේවකයාට වසර 7ක සිරදඬුවමක් දෙයි

රුපියල් 11,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල සහායකයෙකුට බරපතළ වැඩසහිත වසර 28ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිරදඬුවම වසර 07කින් ගෙවී යායුතු බවට නියෝග කර තිබේ.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 31,000ක දඩයක් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශය පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා පැවසීය.

2016 වසරේ සැප්තැම්බර් මස 19 වනදා විදේශයක සිට ආනයනය කළ CCTV කැමරා කට්ටල 30ක් බදු අය කිරීමකින් තොරව නිදහස් කිරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 11,000ක් අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි. 

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ
විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බවය. 

ඒ අනුව විත්තිකරුට මෙම දඩුවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *