බස් එක ඇතුළේ තුවාලකරුවන් විලාප දෙද්දී මිනිස්සු ෆෝන්වලින් වීඩියෝ කරයි

“පාලනය කරගන්න බැරි තරම් වේගයෙන් ආව බස් එක ඉස්සරහ නතර කරලා තිබුණු බස් දෙකේ පිටුපස හැප්පුණා. බස් එක ඇතුළේ තුවාල වෙච්ච මිනිස්සු විලාප තියලා කෑගහනවා. එතන හිටිය මිනිස්සු ෆෝන් අරන් වීඩියෝ කර කර හිටියා තුවාලකාරයෝ බේරගන්න ආවේ නැහැ. එම්බියුලන්ස්වලට කෝල් කළා. පැය භාගෙකින් ආවේ නැහැ. එක වාහනයක්වත් නතර කළේ නැහැ. බැරිම තැන මම යකඩ පොල්ලක් අරගෙන මැරයෙක් වගේ පාරට පැනලා ලොරියක් බලෙන් නතර කරල තුවාලකාරයො රෝහල් ගත කරන්න කටයුතු කළා.

දඹුල්ල, කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේදී ඊයේ (10 දා) අලුයම 4.45 ට පමණ මාරක පුද්ගලික බස් අනතුරින් තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමට කටයුතු කළ ප්‍රදේශවාසියෙක් එසේ කියා සිටියේය.

මෙම මාරක බස් අනතුරින් කාන්තාවක ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු මියගිය අතර බරපතළ තුවාල ලැබූ තවත් 28 දෙනකු කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල කරුවන්ගෙන් සිවුදෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. මෙම අනතුරින් මියගිය පුද්ගලයන් අතර අනතුර සිදුකළ බස් රථයේ කොන්දොස්තරවරයා ද සිටින බව පොලිසිය පවසයි.

මෙම අනතුර සිදුකළ බස් රථ රියැදුරු දොරටියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කඳුරුවෙල සිට කොළඹ බලා අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක් ඉදිරියේ නතර කර තිබූ බස් රථ දෙකක ගැටී මෙම මාරක රිය අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් පසු එහි රැස්වූ ප්‍රදේශවාසීන් සහ වෙනත් බස් රථවල ගමන් ගත් පිරිස අනතුරට ලක්වූ බස් රථවල සිරවී සිටි තුවාලකරුවන් පිටතට ගෙන ඇත.

එහෙත් ඇතැම් පුද්ගලයන් තුවාල කරුවන් බේරගන්නවා වෙනුවට ඔවුන් විලාප තබමින් කෑගසන අයුරු සිය ජංගම දුරකථනවලින් වීඩියෝ ගත කරමින් සිටිනු දක්නට ලැබිණි.

තුවාලකරුවන් රෝහල් වෙත රැගෙන යෑමට කිසිම වාහන රියැදුරකු ඉදිරිපත් නොවූ අතර ගිලන් රථ එම ස්ථානය වෙත ළඟාවී ඇත්තේ ද අනතුර සිදුවී පැය භාගයකට පමණ පසුවය.

ඒ අවස්ථාවේ ඉදිරිපත් වූ ප්‍රදේශවාසියකු යකඩ පොල්ලක් රැගෙන මහ මඟට පැන බලහත්කාරයෙන් ලොරි රථයක් නතර කර තුවාලකරුවන් පිරිසක් එහි නංවා රෝහල වෙත යැවීමට කටයුතු කර තිබේ.

මෙම මාරක අනතුරින් පුද්ගලයන් තිදෙනකු එම ස්ථානයේදීම මියගිය අතර එක් අයකු මියගොස් ඇත්තේ රෝහල් ගත කිරීමෙන් පසුවය.

දොරටියාව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි.

අධික වේගයෙන් අපරික්ෂාකාරීව රිය ධාවනය කිරීම මෙම මාරක අනතුරට හේතු වී ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *