රැකියා ගන්න ඒජන්සි හරහා ගිය රුමේනියා ගමන නිසා තරුණයන්ට අත්ව ඇති ඉරණම අල්ජසීරා වාර්තා කරයි

වර්තමානයේ බොහෝ පිරිසක් විදෙස් රටවලට යන්නේ මෙරට පවතින ආර්ථික ගැටලුවල බරපතලකම මැදයි.

එලෙස අපේක්ෂා රැසක් පොදි බැඳගෙන විදෙස්ගතවන ශ්‍රී ලාංකිකයින් සැලකිය යුතු පිරිසකට එම අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

රැකියා සොයා රුමේනියාවට ගොස් අසීරුතා රැසකට මුහුණදීමට සිදුව ඇති ශ්‍රී ලාංකිකයින් පිළිබඳව අල්ජසීරා ප්‍රවෘත්ති සේවය ඉදිරිපත් කළ වාර්තාවක් මේ.

රුමේනියාවේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයින්ගේ දිවිය පිළිබඳව අල්ජසීරා ප්‍රවෘත්ති සේවය මෙම වාර්තාව සකස් කර තිබෙනවා.

ඒ, මහනුවර , කොළඹ සහ කළුතර ප්‍රදේශවලින් රුමේනියාවට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු මුහුණ පා සිටින ආර්ථික අසීරුතා ඇසුරින්.

ඉන් එක් අයෙකු හඳුන්වා දී ඇත්තේ ඩග්ලස් යන අන්වර්ථ නාමයෙන්.

පසුගිය නොවැම්බර් මාසයේදී මහනුවර සිට පැමිණි ඩග්ලස් රුමේනියාවේ රැකියාවකට යොමුවන්නේ, අන්තර්ජාලය ඔස්සේ පළ කෙරුණු දැන්වීමක් හරහායි.

යුරෝපා සංගමයට අයත් රටක ගෘහ සේවකයෙකු ලෙස සේවය කළ හැකි බවටත්, ඉඳුම් හිටුම් සහ ආහාර සපයන බවටත් එම දැන්වීමේ දක්වා තිබූ බව ඔහු පවසා තිබෙනවා.

රුමේනියාවේ රැකියාවක් ලබාගැනීමෙන් පසු ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි කැමැත්තක් දක්වන සිය 12 හැවිරිදි පුත්‍රයාට ද බ්‍රිතාන්‍යයේ අධ්‍යාපන කටයුතු කිරීමට අවස්ථාව උදාවනු ඇති බවටයි ඩග්ලස් සිහින මවා ඇත්තේ යුරෝපා රැකියා සිහිනය වෙනුවෙන් ඔහු විදෙස් රැකියා නියෝජිතායතනයට මුදල් ලබා දී තිබුණේ රුපියල් දස ලක්ෂ 43,000කට අධික මුදලක් ණයට ලබා ගෙනයි.

රුමේනියාවට පැමිණි පසු ඩග්ලස්ට විදේශ රැකියා ඒජන්සිකරු පවසා ඇත්තේ,පොරොන්දු වූ පරිදි රැකියාව ලබාගැනීමට නොහැකි බවයි.

එම වැටුප ද පොරොන්දු වූ ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් අඩු බව ඩග්ලස් පවසනවා.

ඔහුට සිදුව ඇත්තේ, රුමේනියාවේ බුකරෙස්ට්හි අවන්හලක මුළුතැන්ගෙයි සේවකයෙකු ලෙස දිනකට හැම්බර්ගර්ස් 200කට වැඩි සංඛ්‍යාවක් තැනීමටයි.

අමතර රැකියාවක් ලෙස යතුරුපැදියෙන් ආහාර ඇණවුම් බෙදාහැරීමට ද ඔහු තීරණය කරන්නේ සිය ආදායම වර්ධනය කර ගැනීමේ අරමුණින්.

ඩග්ලස්ගේ සේවායෝජකයා සැපයූ කාමරවල තට්ටු ඇඳන් 7ක ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු රැඳී සිටින අතර, ඩග්ලස් පෙන්වා දෙන්නේ තමන් රෝහලක සිටිනවා වැනි හැඟීමක් ඇතිවන බවයි.

සතියකට ඩග්ලස් රුමේනියානු ලෙයි 26 ක් හෙවත් අමෙරිකානු ඩොලර් 26ක් උපයන නමුත් කුලී පදනම මත ලබාගත් යතුරුපැදියට ඩොලර් 54ක් මෙන්ම,
ඉන්ධන සඳහා ඩොලර් 6 යි සත 50ක් ගෙවීමට ඔහුට සිදුවනවා.

අල් ජසීරා ප්‍රවෘත්ති සේවය පෙන්වා දෙන්නේ ඩග්ලස්ට අමතරව රැවටීමට ලක්වූ තවත් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් රුමේනියාව තුළ දැඩි අසීරු ජීවන අරගලයක නිරත වී සිටින බවයි.

අලි නමින් තමන්ව හැඳින්වූ කොළඹ සිට පැමිණී 27 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් ද පසුගිය ජුලි මාසයේදී ඔහුගේ සහෝදරයා සමග පිරිසිදු කිරීමේ රැකියා සඳහා
රුමේනියාවට පැමිණ ඇති අතර, ඔවුන් එහි පැමිණි වහාම ඔවුන්ගේ රැකියා බලපත්‍ර අහෝසි වී ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කළා.

ආහාර ඇණවුම් යතුරුපැදියෙන් බෙදා හැරීමේ රැකියාවලට ඔවුන් යොමුවන්නේ ඉන් අනතුරුවයි.

මේ අතර, කලුතර පදිංචි ශ්‍රී ලාංකිකයෙකු ද රුමේනියාවේ බුකරෙස්ට් නගරයේ අවන්හලක මුළුතැන්ගෙයි රැකියාවක් සඳහා පැමිණ ඇති අතර, ඔහු පවසා ඇත්තේ,ආයතන හිමිකරු සහ විදෙස් රැකියා ඒජන්සිය වංචාවක් සිදුකරන බවට ඔහුට හැඟෙන බවයි.

තමන් රැකියාවට පැමිණීමට පෙර රැකියාවේ තත්ත්වය සම්බන්ධයෙන් නොදැන සිටි බවත් ඔහු පවසා තිබෙනවා.

එවන් පසුබිමක වුවත් 2022 වර්ෂයේදි ලක්ෂ 3ක ශ්‍රී ලාංකිකයින් පිරිසක් රුමේනියාවේ රැකියා සඳහා පැමිණ තිබූ අතර, මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර්
දක්වා පමණක් එම සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා තිබෙනවා.

අල්ජසීරා පුවත් සේවය සිය වාර්තාව මගින් පෙන්වා දෙන්නේ, මේ අනුව බලන කල ශ්‍රී ලාංකිකයින් රුමේනියාවේ මස් කම්හල් ආදියේ ඉතා අසීරුවෙන් රැකියාවල නිරතව සිටින නමුත්, එරට නව නීතිවලට අනුව ඔවුන්ට රැකියා වෙනස් කර ගැනීම ඉතා අසීරු වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *