හෝටලයක බලපත්‍රය අලුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ලබාගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනියුක්තව රාජකාරී කටයුතු සිදුකළ අයෙක්.
ඉබ්බාගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා. පැමිණිලිකරු ඔහුගේ හිතවතුන් කිහිපදෙනෙකු සමග එකතු වී හෝලටයක් පවත්වාගෙන යන අයෙකු වනවා. ඔහු සිය හෝටලයේ 2025 වර්ෂය සඳහා වන වෙළෙඳ බලපත්‍රය අලුත්කිරීමට ගලේවෙල ප්‍රාදේශීය සභාව වෙත භාර දී ඇති අයදුම්පත්‍රයට අදාළව, එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙළෙඳසැලට පැමිණ පරීක්ෂා කර බැලිය යුතුව තිබුණා.
ඒ අනුව වෙළෙඳ බලපත්‍රය අලුත් කිරීමට අදාළ නිර්දේශය සහිත ලිපිය ප්‍රාදේශීය සභාවට ලබාදීම වෙනුවෙන් අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මෙම රුපියල් ලක්ෂ 2ක මුදල අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව ඊයේ ප.ව. 7.48ට පමණ තල්කිරියාගම, ශ්‍රී බුද්ධි ජයන්ති පන්සල අසල පාරේදී අදාළ අල්ලස් මුදල ලබාගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුව ගැනුනා. සැකකරු දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.