අධිකරණයට ඇතුළුවීමට පෙර, නීතිඥවරුන් පරීක්ෂා කිරීම අරඹනවා – වැඩබලන පොලිස්පති කියයි

සෑම නීතිඥවරයෙක්ම අධිකරණයට ඇතුළුවීමට පෙර පරීක්ෂා කිරීමට නියමිත බවත් ඒ සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙසත් වැඩබලන පොලිස්පතිවරයා නීතිඥ සංගමයෙන් ඉල්ලා සිටිනවා.

වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (19) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

ඒ, නීතිඥයෙකු ලෙස වෙස්වලාගත් පුද්ගලයෙකු විසින් අද උදෑසන අලුත්කඩේ උසාවිය තුළ සිදු කළ වෙඩිතැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තාව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළවයි.

අධිකරණ සංකීර්ණයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ, මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් වන බවයි.

එමෙන්ම රට තුළ අපරාධ මැඩපැවැත්වීම සඳහා පාතාල ලෝකයට සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගනිමින් සිටින බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

එමෙන්ම අද වාර්තා වූ මෙම වෙඩි තැබීමේදී අධිකරණ පරිශ්‍රයේ නීතිඥවරුන් පරීක්ෂා කිරීමේ ඌනතාවය සැකකරුවන් විසින් ප්‍රයෝජනයට ගෙන ඇති බව පෙන්වා දෙමින්, අධිකරණ පරිශ්‍රයට ඇතුළුවීමට පෙර නීතිඥවරුන් පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගන්නා බවත් ඒ සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ද ඉල්ලා ඇති බවත් වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මීට අමතරව අධිකරණ පරිශ්‍රයන්හි ආරක්ෂක කටයුතු සඳහා සන්නද්ධ නිලධාරීන් යෙදවීමට අදාළ බලධාරීන්ගෙන් ද අවසර ලබා ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *