සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව හොර රහසේ මෙරට වෙළෙඳ පොළට නිකුත් කිරීමට ආනයනය කර තිබූ, ඌරන් මියයෑමට දැඩි බලපෑමක් එල්ල කරන “African swine fever virus” සහිත සොසේජස් තොගයක් රේගු සහ නිරෝධායන අංශ නිලධාරින් සිය භාරයට ගෙන ඇත.
මෙම සොසේජස් ඇතුළු මස් තොගය චීනයෙන් ආනයනය කර තිබිණි. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව අදාළ ආනයනකරු විසින් ශීත කරන ලද නැවුම් තාරා මස් කිලෝ ග්‍රෑම් 2560 ක්, ශීත කරන ලද නැවුම් කුකුළු මස් කිලෝ ග්‍රෑම් 171 ක්, තායිවාන් ග්‍රිල් සොසේජස් කිලෝග්‍රෑම් 56 ක්, තාරා ඔළු කිලෝ ග්‍රෑම් 132 ක්, කුකුළු තටු කිලෝග්‍රෑම් 20 ක් සහ ස්වීට් කෝන් රෝල් සොසේජස් කිලෝග්‍රෑම් 288 ක් මෙලෙස ආනයනය කර තිබූ බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම සොසේජස් සහිත මස් බහාලුම සම්බන්ධයෙන් රේගු නිලධාරීන් නිරෝධායන අංශවල නිලධාරින්ට දැනුම්දී ඇති අතර, එහිදී අදාළ සාම්පල පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ සොසේජස් තුළ “African swine fever virus” නමැති වයිරසය අඩංගු වන බවය. මෙම වයිරසය අප්‍රිකානු සූකර උණට බලපාන ලද රෝග කාරකය වන්නේය. මෙම වයිරසය ඌරන්ගේ ශරීර තුළට ඇතුළුවූ පසුව රක්තපාත උණ රෝගය ඇති කරන අතර, එහි බලපෑම මත ගෘහස්ථව ඇතිකරන ඌරන් සතියක කාලයක් තුළදී මිය යෑමේ අවදානම් තත්වයක් උද්ගත වේ.
අදාළ ආහාර තුළ මෙම වයිරසය තිබෙන බවට පශු වෛද්‍ය පර්ෙය්ෂණායතනය විසින් කරන ලද පරීක්ෂාවේදී අනාවරණය කරගෙන ඇති අතර, ඒ අනුව, අදාළ සොසේජස් තොගය පමණක් නොව අනෙකුත් සියලු මස් තොගයද විනාශ කිරීමට නිරෝධායන අංශ තීරණය කළ බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල කියා සිටියාය.
මෙරටට මස් හෝ මස් ආශ්රිත නිෂ්පාදන ආනයනය කිරීමේදී සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරය අනිවාර්යයෙන්ම ලබාගත යුතු අතර, එවන් අවසරයෙන් තොරව මස් වැනි දෑ ආනයනය කළ නොහැකි බවද අධ්යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.
මෙම වයිරසය ඌරු ගොවිපොළවලට ඇතුළු වුවහොත් එය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවත්, එම නිසා අදාළ සියලු මස් අද (18 වැනිදා) විනාශ කිරීමට නියමිත බවත් ඇය කීවාය.
මෙලෙස භාරයට ගත් මස් සහ සොසේජස් තොගය ආරක්ෂාකාරීව වැලිසර ප්‍රදේශයේ ගබඩාවක තැන්පත් කර ඇතැයිද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
මෙම වයිරසය මෙරට බාහිර පරිසර පද්ධතියට බැහැර වූයේ නම් මෙරට ඌරු කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වීමට බරපතළ තර්ජනයක් වන බවද පශු වෛද්‍ය අංශ සඳහන් කරයි.