චොක්ලට් අලෙවිසැල් හිමිකරුවෙකුට එරෙහි නඩුවක් සමථයකට පත් කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසක් රුපියල් ලක්ෂ 5ක් අල්ලස් වශයෙන් ඉල්ලූ පුවතක් හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වුණා.
මෙහිදී අලෙවිසැලේ හිමිකරු රුපියල් ලක්ෂයක් නිලධාරීන්ට ලබාදී ඇති අතර ඊට හිලව් වශයෙන් චොක්ලට් තොගයට අදාළ ලේඛන විනාශ කිරීමට කටයුතු කරන බවට නිලධාරීන් පොරොන්දු වන දුරකථන හඬ පටයක් ද අප වෙත ලැබී තිබෙනවා.
මහරගම පිහිටි චොක්ලට් අලෙවි සැලකට පසුගිය අගෝස්තු මස 19 වනදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පැමිණ කළ පරීක්ෂාවකින් පසු චොක්ලට් හා ටොෆි තොගයක් සිය භාරයට ගෙන තිබුණේ ඒවායේ මිල හා ආනයනකරුගේ නම ප්‍රදර්ශනය නොකිරීමේ චෝදනාව මතයි.
එහිදී රුපියල් ලක්ෂ 30කට ආසන්න චොකලට් සහ ටොෆි තොගයක් මුද්‍රා තබා නඩු පැවරීමට අදාළ නිලධාරීන් කටයුතු කළා.
නඩු භාණ්ඩ ලෙස ද චොක්ලට් සහ ටොෆි සැලකිය යුතු ප්‍රමාණයක් නිලධාරීන් රැගෙන ගිය බවයි අලෙවිසැලේ හිමිකරු ප්‍රකාශ කළේ.
කෙසේවෙතත් පසුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පැමිණ එම නඩුව ලිහිල් කිරීම සඳහා මුදල් ඉල්ලා සිටි බවයි අලෙවිසැලේ හිමිකරුගේ බිරිඳ ප්‍රකාශ කළේ.
අදාළ මුදල් ලබා දීමෙන් පසු මුද්‍රා තැබූ චොක්ලට්වලින් තොගයක් යළි විකිණීමට ගන්නා ලෙසට වැටලීමට පැමිණි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරියෙකු අලෙවිසැලේ හිමිකරුට පවසා තිබෙනවා.
අලෙවිසැලේ හිමිකරුගේ බිරිඳ වැඩිදුරටත් පැවසුවේ නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේද රැගෙන ගිය චොක්ලට් තොගයෙන් කිහිපයක් පමණක් බවයි.