සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා අද (23) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙතගොස් දළදා සමිදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මේ බව පැවසීය.
මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් සමග ඒ පිළිබඳ සාකච්ඡා කළ බවත් එහිදී, මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහනුවර දිස්ත්‍රික් ලේකම්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සූදානම් කිරීමට එකඟ වූ බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.