රට තුළ ජාතිවාදය හෝ ආගමික අන්තවාදය නැවත ඇතිවීමට ඉඩ නොතබන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වන සැසිවාරය අමතමින්. අමාත්‍යවරයා ඊයේ වැඩිදුරටත් සදහන් කළේ, ව්‍යවස්ථාපිත රාමුව තුළ දේශීය යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම වත්මන් රජයේ අරමුණ බවයි.
මෙවර මානව හිමිකම් සැසිවාරය අමතමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මානව හිමිකම් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම යළි තහවුරු කළ අතර අතුරුදන්වුවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය සහ සංහිඳියාව වන දේශිය ආයතන ශක්තිමත් කරන බව ද ප්‍රකාශ කර තිබෙනවා. රජයේ කාර්යයන් ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම හරහා අකාර්යක්ෂමතාවය සහ දූෂණය අවම කිරීම සහතික කිරීමට බලාපොරොත්තු වන බවද එහිදි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් කියා සිටියා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පිළිබඳ මූලික හා දිගුකාලීන මූලධර්මවලට ගරු කරමින් ඒවා ආරක්ෂා කිරීම හරහා සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමටද කටයුතු කරන බවද විදේශ කටයුතු අමාත්‍ය විජිත් හේරත් එහිදි ප්‍රකාශ කර ඇති බව සදහන්. ජාතික සමගිය සහ සංහිඳියාව තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රත්‍යක්ෂ පියවර ගැනීමට රජය ප්‍රතිඥා දී තිබෙන අතර එමගින් සත්‍යය සහ සංහිඳියා රාමුවක් තුළ සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ විශ්වාසය දිනාගත් ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා කැපවන බවද අමාත්‍යවරයා මානව හිමිකම් කවුන්සිලය අමතමින් සදහන් කළා.