EPF ලබා ගැනීමේදී පවතින කොන්දේසි ලිහිල් කිරීමට රජය තීරණය කරයි

සේවක අර්ථ සාධක අරමුදලෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේදී පනවා ඇති කොන්දේසි ලිහිල් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

ඒ හරහා වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව උදාවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අයවැය තෙවනවර කියවීමේ කාරක සභා අවස්ථා විවාදයට ඊයේ (04) එක්වෙමින් මහින්ද ජයසිංහ මහතා මේ බව පැවසීය.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සේවක අර්ථ සාධක අරමුදලින් 30%ක ප්‍රතිලාභ ලබා ගැනීමේදී ඇතැම් අවස්ථාවල කූට ලේඛන ඉදිරිපත් කිරීමට ඇතැමුත් පෙළඹී ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා,

“කම්කරු අමාත්‍යංශය යටතේ ආයතන හයක් පවතිනවා. ඉන් ප්‍රමුඛ ආයතනයක් තමා කම්කරු දෙපාර්තමේන්තුව. මෙවර අයවැයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට පෙරට වඩා රුපියල් මිලියන 598ක් වෙන්කර තිබෙනවා.”

“ඊට අමතරව කම්කරු නීති සහ කම්කරු සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 128ක්. තවත් මිලියන 163ක් කම්කරුවන්ගේ සුරක්ෂාව, සෞඛ්‍ය සහ සුබසාධනය වෙනුවෙන් වෙන්කර තිබෙනවා. එපමණක් නොවේ, සේවක අර්ථ සාධක අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 1,640ක් මෙන්ම මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවට මිලියන 622ක් වශයෙන් මෙවර අයවැයෙන් වෙන්කර තිබෙනවා.”

“මෙතෙක් අක්‍රීය වෙලා තිබුණු පඩි පාලක සභා 44 අපි යලි සක්‍රීය කර අදාළ පත්කිරීම් සිදුකර තිබෙනවා. වසර ගණනාවක් කැඳවා නොතිබුණු කම්කරු උපදේශක සභාවත් අපි කැඳවලා ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *