යළිත් පාර්ලිමේන්තු එන්න – GMOA එකෙන් රනිල්ට ඇරයුමක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය සංජීව තෙන්නකෝන්, ලේකම් ප්‍රභාත් සුගතදාස,භාණ්ඩාගාරික බණ්ඩාර වරකාගොඩ ඇතුළු එම සංගමයේ විධායක සභාවේ පිරිසක් හා හිටපු ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක එස්. සමරතුංග යන මහත්වරු මෙම හමුවට සහභාගී වූ අතර රජයේ වෛද්‍යවරුන් හට වර්තමානයේ පැන නැගී ඇති ගැටළු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

අමතර රාජකාරී දීමනාව ලෙස පැයකට ගෙවනු ලැබූ 1/80 අගය වෛද්‍යවරුන්ට සුවිශේෂණ සේවාව ආවේණික අගයක් බැවින් ඉතිහාසයේ මෙතෙක් සිදු වූ පරිදි මූලික වැටුප සංශෝධනය සමග එම 1/80 අගය නොවෙනස්ව පවත්වා ගැනීම, නිවාඩු දින, ඉරිදා දිනවල සේවයේ යෙදීම වෙනුවෙන් ගෙවනු ලබන මෙතෙක් පැවති 1/20 අගය අනුව පවත්වාගෙන යාම,2025 අයවැය ලේඛනයේ ධනාත්මක කරුණක් වන රාජ්‍ය සේවයේ මූලික වැටුප් ඉහළ නැංවීමේ තීරණය එළෙසම ක්‍රියාත්මක කිරීම, වෛද්‍ය වෘත්තිය සහ වෛද්‍ය සේවාව වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ලබාදී ඇති යෝජනා සහ වැඩසටහන් ක්‍රියාවලිය සළකා බැලීම වෛද්‍ය සංගමය ඉදිරිපත් කළ යෝජනා අතර වෙයි.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදුන්නේ, 2022, 2023 සහ 2024 කාල වකවානුව තුළ සමස්ත රාජ්‍ය සේවකයන්ට හානියක් නොවන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන ලද සාකච්ඡාවලදී ගත් තීන්දු තීරණවල වාර්ථාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ලබා දෙන ලෙසය. ඒ අනුව ආචාර්ය සමරතුංග දින දෙකක් තුළදී එම සියලු තොරතුරු ලබා දෙන බවත් ප්‍රකාශ කරන ලදී.

සාකච්ඡාවෙන් අනතුරුව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රනිල් වික්‍රමසිංහ අමතමින් “ඔබතුමා වැනි පලපුරුදු නායකයෙක් මේ වෙලාවේ පාර්ලිමේන්තුව නියෝජනය කළොත් හොඳයි” යනුවෙන් පැවසීය.

“නෑ.. මම දැන් විවේක සුවයෙන් ඉන්නේ. නමුත් ඔයගොල්ලන්ට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදෙන්න මම සූදානම්“ යැයි හිටපු ජනාධිපතිවරයා ඊට පිළිතුරු ලෙස පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *