මෙරට වෙරි මතින් සියදිවි නසාගන්නා පිරිමි සංඛ්‍යාව ඉහළට

මත්පැන් පානය කර ගෙල වැලලාගෙන සියදිවි නසා ගන්නා පිරිස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය සජීවන අමරසිංහ පැවසීය.

“සියදිවි නසා ගැනීම් පිළිබඳ වගකීම් සහගත වාර්තාකරණය“මැයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා කොළඹ,පදනම් ආයතනයේදී ඊයේ (05 වැනිදා) පැවැති වැඩමුළුවේදී ඔහු මේ බව කියා සිටියේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහාය ඇතිව මෙම වැඩමුළුව පවත්වන ලදි.

ලෝකයේ සියදිවි නසා ගැනීම් අනුව ලංකාව දෙවන අදියරේ හෙවත් අතරමැදි තත්වයක සිටින බවත්, ලෝකයේ වසරකට සියදිවි නසා ගැනීම් ලක්ෂ හතක් පමණ සිදුවන බවද ඔහු පැවසීය. මෙලෙස වැඩිපුරම සියදිවි නසා ගන්නේ වයස අවුරුදු 15 ත් 19 ත් අතර තරුණ කාණ්ඩය බවද ඔහු කියා සිටියේය. ජාත්‍යන්තර වශයෙන් පශු වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන්, ඖෂධවේදීන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිරත පිරිස අතර සියදිවි නසා ගැනීම් ඉහළ ගොස් ඇතැයිද ඔහු පැවැසීය.

ලංකාවේ පුද්ගලයින් ලක්ෂයකට සියදිවි නසාගන්නා පිරිස 14 ක් පමණ වන බවත්, ඉකුත් 2020 වසරේදී පුද්ගලයින් 1,909 ක් එල්ලී මියගොස් ඇතැයිද විශේෂඥ වෛද්‍ය සජීවන අමරසිංහ පැවසුවේය.

ආවේගශීලී බොහෝ දෙනෙකු සියදිවි නසා ගැනීම සඳහා පැරසිටමෝල් පෙති පානය කරන බවද ඔහු කීවේය. පිරිමි පුද්ගලයින් සියදිවි නසා ගැනීම තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙන බවත්, වයස්ගත පුද්ගලයින් සියදිවි නසා ගැනීම වැඩිවී තිබෙන බවද ඔහු පැවසීය. කෙසේ නමුත්, විවාහක පුද්ගලයින් සියදිවි නසා ගැනීම් අඩුවී තිබෙන බවත්, තනිව ජීවත්වන පුද්ගලයින් සියදිවි නසා ගැනීම් වැඩිවී ඇතැයිද ඔහු කියා සිටියේය.

අදායම් මාර්ගයක් නොමැතිවීම නිසාද සියදිවි නසා ගැනීම් ඉහළ ගොස් තිබෙන බවත්, රක්ෂිත බන්ධනාගාර ගතකරන ඇතැම් පුද්ගලයින්ට විශාල ප්‍රසිද්ධියක් ලබාදීම නිසා ඔවුන්ට සමාජයට මුහුණදීමේ ගැටලු තත්ත්වයන් උද්ගතවීම නිසාද සියදිවි නසා ගන්නා බව විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *