අප්‍රේල් මාසයේ මුල් සතියේ සිට පරණ මිලට ම ලුණු මිලදී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව ලැබෙනු ඇතැයි ලංකා ලුණු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි අජිත් ශන්මුගනාදන් පැවසුවේය.
ඒ අනුව, අප්‍රේල් පළමු සතිය වන විට ලුණු කැට කිලෝ එකක පැකට්ටුවක් රුපියල් 120ක් හා ලුණු කුඩු ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 100ක් වැනි මිලකට ගැනීමට පාරිභෝගිකයාට හැකි වනු ඇතැයි ඔහු සඳහන් කළේ ය.
මාර්තු තුන් වන සතිය වන විට ලුණු අස්වැන්න කඩන බැවින් එම මිලට ලුණු මිල දී ගැනීමට හැකි බව ප්‍රධාන විධායක නිලධාරියා කීවේය.
අලුත් අස්වනු ලැබීමත් සමග මිල ඉහළ යෑමට පෙර තිබූ පැරණි මිලට ම යළි ලුණු මිලට ගැනීමට හැකිවනු ඇතැයි ඔහු පැවසුවේය.
මෙම මාර්තු මාසයේ පළමු වන සතියේ ලුණු කැඩීමට මීට පෙර සැලසුම් කළ නමුත් එම කාලය ඇතුළත වර්ෂාව ඇදවැටීම සිදුවූ නිසා එය සිදුකර ගැනීමට නොහැකි වූ බව ඔහු කීවේය.
ලුණු කර්මාන්තය හා ලුණු කඩාගැනීම වර්ෂාව යන සාධකය මත රඳාපවතින බව ඔහු සඳහන් කළේ ය.
ලංකා ලුණු සමාගමට පුත්තලම ලුණු සමාගම, ජාතික ලුණු සමාගම ඒකාබද්ධව වී ක්‍රියා කරයි.
ලංකා ලුණු සමාගම වසරකට මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ලුණු නිෂ්පාදන කරන බව ඔහු සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වසරටම වර්ෂාව ලැබෙන්නේ සතියක් පමණක් බවත් එහිදී ඔවුන්ට වසර පුරා ම කර්මාන්තය කිරීමට පහසු බවත් ඔහු වැඩිදුරට ත් පැවසීය.
ලුණු හිඟය නිසා ඉන්දියාවේ සිට ආනයන කළ අතර එසේ ආනයන කරන ලුණු ටොන් එකක් සඳහා ආනයනික බද්ද රුපියල් 40,000ක් පැනවීම හේතුවෙන් ලුණු කැට කිලෝවක මිල රුපියල් 180ක් දක්වා ඉහළ ගියේ ය.